hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූනි 04, ප.ව. 3:59



මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ ගැටුමක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලය සඳහා පත්කරන ලද ඇතැම් අමාත්‍යවරුන්ට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ බරපතළ විරෝධයක් එල්ල වී ඇතැයිද වාර්තා වනවා.

ඊටත් වඩා පක්ෂ අභ්‍යන්තරයේ මත ගැටුමකට මුල් වී ඇත්තේ 21 වන සංශෝධනය පිළිබඳවයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රට තුළ ඇතිකළ අස්ථාවරභාවය සමනය කිරීම සඳහා එම සංශෝධනය අහෝසි කිරීම බවත් ඒ අනුව ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් තම පක්ෂයට ඉහළ ජනවරමක් ලැබුණේ එම ප්‍රතිඥාව ඇතුළු පොරොන්දු ඉටුකිරීමට බවත් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කර තිබෙනවා.

එසේ තිබියදී නැවතත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමාන 21 වැනි සංශෝධනය රජය විසින් ඉදිරිපත් කොට 2019 සහ 2020 ජනවරමින් පත්වූ මන්ත්‍රීන්ගෙන් ඊට සහාය ඉල්ලා සිටින බවද ඔහු පෙන්වා දෙනවා.

එම නිසා 21 වැනි සංශෝධනය ගැන අවසන් තීන්දුවක් ගැනීමට පෙර ඒ ගැන පුළුල් අධ්‍යයනයක් සහ සමාලෝචනයක් කළ යුතුව තිබෙන බවයි ඒ මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් තම පක්ෂය විධායක ජනාධිපති ධූරයේ බලතලවලින් කොටසක් මැතිසබයට පැවරීම ගැන විරැද්ධ නොවන බවද මහලේකම්වරයා වැඩිදුරටත් පවසනවා.

ඊයේ (03) ගම්පහ මහාධිකරණයෙන් පිටව යාමේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නා.

එහිදී 21 වන සංශෝධනය සහ ඊට ඡන්දය දීම පිළිබඳ අදහස් පළ කළ බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ “පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඡන්දය දීම ගැන දන්නේ නෑ. ඒ අයගෙන් අහන්න වෙනවා. ඒක තමා ඉතිං. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: