hit counter

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 27, ප.ව. 2:49



පාසල් සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතා පා ගමනකට මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් බාධා එල්ල කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

මධ්‍යම පළාත් පාසල් සංවර්ධන නිලධාරීහු 27 දා දහවල් මහනුවර නගර මධ්‍යයේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඉන් අනතුරුව ඔවුහු විරෝධතා පා ගමනින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය යාමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඊට විරෝධය පෑම හේතුවෙන් මෙම උණුසුම් තත්වය ඇති වූවා. 

නමුත් පොලිස් නිලධාරින්ගේ විරෝධය නොතකා විරෝධතාකරුවන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය පිවිසුම දක්වා පාගමනින් පැමිණි අතර දළදා මාළිගා අධි ආරක්ෂක කලාපය අසලදී මාර්ග බාධක යොදා විරෝධකරුවන් නවතාලීමට පොලිසිය පියවර ගත්තා.

ඉන්පසු විරෝධතාකරුවන්ගෙන් දසදෙනකු හට ආණ්ඩුකාර කාර්යාලය වෙත ගොස් ආණ්ඩුකාර ලලිත් ගමගේ මහතා සමග සාකච්ඡා කිරීමට පොලිසිය අවස්ථාව සලසා දුන් අතර එම සාකච්ඡාව සඳහා සහභාගී වූ කණ්ඩායම නැවත පැමිණ සඳහන් කළේ එම සාකච්ඡා සාර්ථක නොවූ බවයි.

මෙහිදී අදහස් පළ කළ සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ එකමුතුවේ සභාපති නුවන් ශ්‍රීලාල් කියා සිටියේ මෙරට පාසල් පද්ධතියට අනුයුක්ත කොට ඇති සංවර්ධන නිලධාරීන් විසිදහසකට අධික සංඛ්‍යාවක් මේ වන විට වසර තුනකට වැඩි කාලයක් ගුරුවරුන් වසයෙන් කටයුතු කරමින් සිටින බවයි. 

ගම්බද පාසල් රැසක කිසිදු ගුරුවරයෙක් නොමැතිව සංවර්ධන නිලධාරීන් පාසල්වල අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යමින් දැඩි කැපවීමෙන් සේවය කරමින් සිටින අතර මෙම කණ්ඩායම ඉල්ලා සිටින්නේ ඔවුන් ගුරුසේවයට අන්තර්ග්‍රහනය කරන ලෙස පමණක් බව  ද හෙතෙම පැවසුවා. 

ඇතැම් පළාත් සභාවල සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ඇති බවත් රට පුරා විශාල ගුරු හිඟයක් පවතින අවස්ථාවේ සුදුසුකම් සහිත උපාධිධාරීන් වන ගුරු සේවයේ වසර තුනක පලපුරුද්ද ඇති පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම වැළැක්වීමට කටයුතු කරන්නේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පමණක් බවටද ඔවුහු චෝදනා කරනවා.                           

දිවයින පුරා සිදුකරන මෙම විරෝධතාව සඳහා අදාළ අංශ අවධානය යොමු නොවෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ කොළඹට පැමිණ පාර්ලිමේන්තුව මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය වැටලීමට පියවර ගන්නා බවද විරෝධතාකරුවෝ පැවසුවා.