2023 දෙසැම්‍බර් 24, ප.ව. 2:30
විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ චෝදනා මත පේරාදෙණිය පොලීසිය මගින් අත් අඩංගුවට ගත් උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනෙවිරත්න මහනුවර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කොට තිබෙනවා.
හිටපු සභාපතිවරයා රට රැකියා ලබාදෙන බව පවසමින් දිවයින පුරා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන සැඟව සිටින බවට මහනුවර, පේරාදෙණිය හා දවුලගල පොලිස් ස්ථාන වෙත විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති අතර අතුරුදහන්ව සිටි හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කොට තිබුණි.
පේරාදෙණිය පොලිසිය මගින් 23 දින පස්වරු කාලයේ සැකකාර හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගත් බව සැලවූ පසු හිටපු සභාපතිවරයාගේ මුදල් වංචාවට හසුවූ පිරිස් අද (24) පෙරවරුවේ මහනුවර හා පේරාදෙණිය පොලිස් ස්ථාන වෙත පැමිණ සිටියා.
වංචාවට හසුවූ ජනතාව සඳහන් කරන්නේ හිටපු සභාපතිවරයා විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් කෝටියක පමණ මුදලක් වංචා කොට ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරී සමන් අංගම්මන මහතා යටතේ පරීක්ෂණ පැවැත්වෙනවා.