hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2022 ජූනි 16, පෙ.ව. 5:20



කිලිනොච්චියේ ස්ථාන දෙකකදී නීතිවිරෝධීව බලපත්‍ර නොමැතිව රක්ෂිතයෙන් කපා ගත් දර පැටවූ වාහන 08ක් සමගින් සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

කිලිනොච්චිය අලිමංකඩ සහ පුනකරි ප්‍රදේශයන්හි නීති විරෝධීව දර ප්‍රවාහනයක් සිදු වන බවට කිලිනොච්චිය පොලිස් දූෂණ මර්ධන අංශයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි වැටලීමකදී අදාල දර පටවාගත් වාහන අත්අඩංගුවට ගැනීම සිදු වී තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

එහිදී අලිමංකඩ ප්‍රදේශයේදී වාහන 06ක් සහ එහි රියදුරන් 06 දෙනෙකුද පූනකරී සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී වාහන දෙකක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් විසින් කිලිනොච්චියේ රක්ෂිත වනාන්තර වලින් නීතිවිරෝධීව ගස් කපා දර බවට පත්කොට එම දර ඉතා අධික මිල ගණන් යටතේ සාමාන්‍ය ජනතාවට විකිනීමට සැලසුම් කොට ඇතැයි අනාවරණය වී ඇත්තේ.

මේ දිනවල කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවතින ගෑස් හිගය හේතුවෙන් දර සඳහා වැඩි ඉල්ලුමක් පවතින බැවින් බොහෝ පිරිස් දර විකිණීමට පෙළඹී ඇති බවටත් රක්ෂිත වලින්ද ගස්කපා මෙලෙස දර බවට පත්කිරීමේ ජාවාරම් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ත් 50ත් අතර වයස්හි පසුවන අතර ඔවුන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.