2024 මැයි 12, පෙ.ව. 12:02
දරුවෝ වෙනුවෙන් අම්මලා විඳපු දුක් කම්කොටොලු ගැන දැනගත්තට… තාත්තලා විඳපු දුක් කම්කටොලු ගැන දැනගන්න වෙන්නේ පිට මිනිස්සුන්ගෙන් පියවරු එසේ ය.
ඔවුන් දරුවන්ගේ ජීවිත වර්ණවත් කිරීමට සිය ජීවිතය කැප කරන්නේ සියලු දුක් පීඩා නිහඬව විඳ දරාගනිමිනි. එවැනි පියවරු ලොව කොතැනත් සිටිති. ලොව ඕනෑම ක්ෂේත්‍රයකින් කීර්තියට හා විශිෂ්ටත්වයට පත් වූවන් පසුකාලීනව පිය ගුණ සිහිපත් කරති. පියාගේ දිරිය ශක්තියෙන් ලොව ජයගත් අමෙරිකාවේ සුපිරි බාස්කට්බෝල් තරුව මයිකල් ජෝඩ්න් 90ව දශකයේ මැද භාගයේදී දිනා ගත් ජාතික බාස්කට්බෝල් ශුරතාව කැප කළේ ඒ වෙද්දී මෙලොවින් සමුගෙන සිටි තම පියා වෙනුවෙනි.
ඉන්පසු ඔහු ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදී බාස්කට් බෝලය තුරුලු කරගනිමින් කුඩා දරුවකු මෙන් බිම පෙරළි පෙරළී හැඬුවේය. සුපිරි පිතිකරු විරාට් කෝලි සිය ක්‍රීඩා ජර්සියට අංක 18 තෝරා ගත්තේ ඔහුගේ පියාට උපහාර වශයෙනි. ඒ කෝලිගේ ක්‍රිකට් ජීවිතයේ පළමු ගුරුවරයා මෙන්ම ලොකුම දිරිගන්වන්නා වූ ඔහුගේ පියා මෙලොවින් සමුගෙන තිබුණේ 18 වැනිදා දිනයක වීම නිසාය.
දරුවන්ගේ ජිවිත වර්ණවත් කිරීමට සිය ජීවිත කැප කළ ආදරණීය පියවරුන් වෙනුවෙන් ක්‍රීඩාවෙන් මෙලෙස නිදසුන් දැක්වූයේ පසුගියදා මෙලොව හැර ගිය සිය පියාණන්ගේ මතකය අවදි කරමින් තිලකරත්න ඩිල්ෂාන් පැවැසූ සංවේදී සිතිවිලි සටහන් කිරීමටය.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට පිතිකරුවකුවන තිලකරත්න ඩිල්ෂාන්ගේ ක්‍රිකට් ජීවිතයේ ලොකුම දිරිගන්වන්නා වූයේ ඔහුගේ පියා තුවාන් මොහොමඩ් ජුනෙයිඩීන් ය. පසුගියදා දකුණු කළුතර පලාතොට, හිමිදිරියාව සුසාන භූමියේදී පියාගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඩිල්ෂාන් මෙලෙස හඬ අවදි කළේය.
”තාත්තා කියන්නේ මගේ ක්‍රිකට් ජීවිතයේ හෙවණැල්ල. පොඩි කාලේ ඉඳලා අපි වෙනුවෙන් වෙන්න ඕන හැම දෙයක්ම නොපිරිහෙලා ඉටු කරපු හැටි මට මතක් වෙනවා. තාත්තා නිසා තමයි මට මෙච්චර දුරක් ක්‍රීඩාවෙන් යන්න පුළුවන් වුණේ. එයාගේ ශක්තියෙන් ධෛර්යයෙන් තමයි මගේ ක්‍රිකට් ජීවිතය එළිය වුණේ.‘ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඩිල්ෂාන්ගේ පියා සිය වැඩිමහල් පුත්‍රයාගේ ක්‍රිකට් ජීවිතය වෙනුවෙන් කළ කැපවීම සහ දිරිගැන්වීම ගැන ඩිල්ෂාන් සිහිපත් කළේ දැඩි සංවේදිත්වයෙන් යුතුවය.
”තාත්තා ඇත්තටම පාපන්දු ක්‍රීඩකයෙක්. මුලදි එයාටත් ඕන වුණේ මාව පාපන්දු ක්‍රීඩකයෙක් කරන්න. ක්‍රීඩාවට ගොඩාක් ආදරය කරපු කෙනෙක්. පොඩි කාලේ ඉඳලම මම සෙල්ලම් කරන හැම තරගයකටම වගේ ඇවිත් මාව දිරිගන්වනවා. මම ඉස්කෝලේදී හවසට පුහුණුවීම්වලට ඉන්න දවස්වලට එයාගේ රාජකාරියට පවා බාධා කරගෙන මට දිවා ආහාරය ගෙනල්ලා දෙනවා. තාත්තාගේ ඒ කැපවීම නිසා තමයි මට අද ලෝකයක් දිනා ගත්තු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන් වුණේ.
පාපන්දු ක්‍රීඩකයෙක් නිසා තාත්තා මටත් මුලින්ම පාපන්දුවක් තමයි දුන්නේ. මමත් කාලයක් පාසලේ පාපන්දු කණ්ඩායමේ නායකත්වය පවා දැරුවා. ඒත් මගේ දක්ෂතාව තිබ්බේ ක්‍රිකට්වලට. පස්සේ තාත්තා තේරුම් ගත්තා මගේ දක්ෂතාව ක්‍රිකට්වලට කියලා. ඊට පස්සේ මට උපරිම සහයෝගය ලබා දුන්නා ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් යන්න. ඒත් එයා හිතන්න නැතුව ඇති එයාගේ ‘ලොකු පුතා‘ ලෝකයක් දිනන ක්‍රීඩකයෙක් වෙයි කියලා. ‘ඩිල්ස්කුප්‘ කියලා මගේම නමින් පහරක් ලෝකයට හඳුන්වලා දුන්නු ක්‍රීඩකයෙක් වෙයි කියලා හිතන්න නැතුව ඇති. මට තවම මතකයි මගේ පළවෙනි සංචාරයට මාව තේරුණා කියලා මම තාත්තාට කිව්වම එයාගේ ඇස්වල සතුටු කඳුළු පිරුණා. ඒ කඳුළුවලින් මට දැනුණා මං ගැන එයාගේ හිතේ කොච්චර ලොකු බලාපොරොත්තුවක්ද හීනයක්ද තිබ්බේ කියලා.‘
පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඩිල්ෂාන්ගේ පියාට රාජකාරී ස්ථාන මාරු ලැබීමේදී පවුලේ සාමාජිකයෝ ද ඔහු සමඟ විවිධ පළාත්වල පදිංචිව සිටියහ. ඩිල්ෂාන් කියන්නේ සිය පියාට පවුලෙන් තොර ජීවිතයක් නොතිබූ බවය.
‘මමයි, මල්ලියි (ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න සම්පත්) නංගිලා තුන්දෙනයි. දරුවෝ පස්දෙනා ලොකු මහත් කරන්න තාත්තා ලොකු කැපවීමක් කළා. අපේ පවුල එකට ගොඩ නැඟුවේ තාත්තා. පොලිස් නිලධාරියකුට ලොකු වැටුපක් ලැබෙන්නේ නෑ. මුල් කාලේදී අපි ගොඩාක් දුක් වින්දා. කුලියට ගෙවල් අරගෙනයි ජීවත් වුණේ. පවුල නඩත්තු කරන්න සෑහෙන්න වෙහෙසක් ගත්තා. ඒත් ඒ දුක අපිට දැනෙන්න තාත්තා ඉඩ තිබ්බේ නෑ. හැම තිස්සෙම පුළුවන් හැටියට අපිව රැක බලා ගත්තා. තාත්තාගෙන් මම ජීවිතයට එකතු කරගත්තු දෙයක් තමයි පවුලට ගොඩාක් ආදරය කිරීම. තාත්තා කොහේ ගියත් රෑ වෙද්දී පුළුවන් තරම් ඉක්මනට ගෙදර එන්න තමයි බැලුවේ. ඒ පුරුද්ද මටත් ඉබේටම ඇතිවුණා. ප්‍රැක්ටිස්වලට ගියාම මමත් පුළුවන් තරම් ඉක්මනට ගෙදර එන්න පුරුදු වුණේ තාත්තා නිසයි. එයා කොහේ හරි සාදයකට ගිහින් ආහාරය ගත්තත්, ගෙදර එද්දී කොහෙන් හරි අපිට කන්න මොනව හරි අරගෙන එනවා.‘
තාත්තා ගැන අමතක වෙන්නේ නැති සිදුවීම ගොඩාක් තියෙනවා. අපි යාපනයේ ඉන්න කාලේ අපිව හැමදාම උදේට පාසල් යන්න යාල්දේවි කෝච්චියට ඇරලවනවා. මොන රාජකාරි තිබ්බත් දවල්ට එක්කරගෙන යන්න එනවා. හැම තිස්සෙම අපේ පස්සෙන් හිටියේ. ඒකට අපේ අම්මාගෙනුත් ‘(නන්දනී ප්‍රියලතා) ලොකු ශක්තියක් ලැබුණා. ඒ දෙන්නා අවුරුදු 50කට කිට්ටු වෙන්න කාලයක් අන්තිම මොහොත දක්වාම පුදුම ආදරයකින් බැඳීමකින් හිටියේ. මට මගේ බිරියගෙන් ලොකු ආදරයක් ලැබෙනවා වගේම අපේ තාත්තාටත් අම්මාගෙන් ලොකු ආදරයක් ලැබුණා. අම්මා ටවුමට ගියත් තනියෙන් යවන්නේ නෑ. තාත්තාත් පස්සෙන් යනවා. දරුවන්ගේ පස්සෙනුත් හිටියේ ඒ වගේමයි. අපි විවාහ වෙලා ගෙදරින් යනකල්ම, ගියාට පස්සෙත් අපි ගැන නිතර නිතර හොයලා බලනවා. අද එයාගේ දරුවෝ පස්දෙනාම හොඳ තත්ත්වයක ඉන්නවා. තාත්තාට මුනුපුරු මිනිපිරියනුත් 15ක් ඉන්නවා. එයාලගෙත් ආදරය විඳලයි තාත්තා ජීවිතයෙන් සමුගත්තේ.”
දරුවන් වැඩිපුරම සමීප මව්වරුන්ටය. නිවෙසේ වැඩිපුර කාලය ගත කරන්නේ මව සමඟය. නිතර නිතර දැවැටෙන්නේ මවගේ තුරුළේය. දහසක් ප්‍රශ්න අසන්නේ ද මවගෙන් ය. පියාගෙන් ඇසුවොත් අසන්නේ ද ‘තාත්තේ අම්මා කෝ?‘ කියා පමණි. එහෙත් දරුවන්ගේ ජීවිත වෙනුවෙන් දහසකුත් කැපවීම් කරන පියා ගැන අවබෝධ කරගැනීමට නම් දරුවන් ද මවක හෝ පියකු විය යුතුමය.
‘ඇත්ත. තාත්තා හැමතිස්සෙම පිටිපස්සෙන් හිටියට අම්මා තමයි හැමදේම හොයලා බලලා කළේ. ඒත් තාත්තාගේ ආදරය කොච්චර ද කියලා තේරුම් ගත්තේ මමත් තාත්තා කෙනෙක් වුණාට පස්සෙයි. තාත්තා අපිට පහරක් ගැහුවත් ඊට පස්සේ පැත්තකට ගිහින් තනියෙන් අඬන අවස්ථා මම දැකලා තියෙනවා. අද අපි වුණත් දරුවකුට තරවටු කළත්, පහරක් ගැහුවත් පැත්තකට ගිහින් පසුතැවිලි වෙද්දී මට තාත්තාව මතක් වෙනවා. අපි වෙනුවෙන් තාත්තා කළ කැපවීම, ආදරය කොයිතරම් ද කියලා හිතෙනවා.‘
71 හැවිරිදි වියෙහි පසු වූ ඩිල්ෂාන්ගේ පියා කෙටි කාලයක් අසනීප තත්ත්වයේ පසු විය. ඒ අතරතුර ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඩිල්ෂාන් සහ පවුලේ සාමාජිකයන් ශ්‍රී ලංකාවට පැමිණියේ අවුරුදු නිවාඩුව ගත කිරීමටය.
‘තාත්තා අසනීප වෙලා ටික කාලයක් පොලිස් රෝහලේ තමයි නැවතිලා ප්‍රතිකාර ගත්තේ. පසුගිය දවස් 10 ඇතුළත එයාගේ අසනීප තත්ත්වය දරුණු වුණා. එක්තැන් වෙලා හිටියේ. අපි ආපහු ඔස්ට්‍රේලියාවට නොගිහින් තව ටික දවසක් නවතින්න තීරණය කළේ ඉන් පස්සෙයි. මම නිතර නිතර ලංකාවට ඇවිත් ගියත් තාත්තා අවුරුදු 5ක් විතර මගේ දුවලා හතරදෙනා දැකලා තිබුණේ නෑ. ඒ නිසා මේ පාර නිවාඩුවට අපි හැමෝම ලංකාවට ආවා.‘ ඔහු කීවේය.
‘තාත්තා අපිට නිතරම කිව්වේ හොඳ දේවල් කළොත් තමයි හොඳ ප්‍රතිඵල ජීවිතයට ලැබෙන්නේ කියලා. අපි හැමෝම ඒ උපදෙස් පිළිපැද්දා. ඒ නිසා තමයි අපි පස්දෙනාටම ගමෙන්වත්, වෙන කොහෙන්වත් වචනයක්වත් අහන්නේ නැතිව ජීවත් වෙන්න පුළුවන් වුණේ. මම ක්‍රීඩාවෙන් සමුඅරන් අවුරුදු 7ක් වුණත් අදටත් ක්‍රීඩාලෝලීන්ගෙන් ඒ ආදරය ලැබෙන්නේ ඒ නිසයි. මොකද අපි හැමදාම කළේ හොඳ දේවල්. පුළුවන් විදිහට කෙනකුට උදව්වක් කරන්න තමයි නිතරම බැලුවේ. තාත්තත් ඒ කාලේ ටවුමට ගියත් එයාට තිබුණේ ලොකු පිළිගැනීමක්.
හැමෝම එක්ක කතාබහ කරලා සුහදශීලීව හිටපු කෙනෙක්. ඒ දායාදය මටත් ලැබුණා. මමත් හැමෝම එක්ක සුහදශීලීව කතාබහ කරගෙන සාමාන්‍ය විදිහට පොලොවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්. මට ලෝකයේ තියෙන තැන, මම කොතැනද අද ඉන්නේ කියන එක මට වැදගත් නෑ. මම හැමදාම හිටියේ සාමාන්‍ය කෙනෙක් විදිහට. ඒවා මට තාත්තාගෙන් ලැබුණු දේවල්. ඒ පිනම ඇති තාත්තාට ඊළඟ ආත්මයේ හොඳ තැනක ඉපදෙන්න. තාත්තා ඊළඟ ආත්මයේදිත් අපේම තාත්තා විදිහට ආපහු අපි ගාවට එන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.‘ ඩිල්ෂාන් එසේ කීවේ දෑසට නැඟුණු කඳුළු පිසදමමිනි.
දරුවන් පස්දෙනකුගෙන් යුතු ජුනෙයිඩීන් පවුලේ දෙවැන්නා තිලකරත්න සම්පත් ද ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පළමුපෙළ තරග 150කට අධික සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති සම්පත් එල්පීඑල් තරග බිමේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ තුන්ඉරියව් ක්‍රීඩකයෙකි. සිය පියාගේ අවසන් කාලයේ ඔහු වෙනුවෙන් සියලු ඇපඋපස්ථාන සිදු කළ ජුනෙයිඩීන් පවුලේ ‘පොඩි පුතා‘ සිය පියා ගැන කතාබහට එක්වූයේ මෙලෙසිනි.
‘තාත්තාගේ අන්තිම කාලයේ මා ළඟ හිටියේ. තාත්තා වෙනුවෙන් හැමදෙයක්ම මගේ අතින් කරන්න මට ලැබීම වාසනාවක් කියල මම හිතනවා. එක අතකට ඒක ජීවත්ව ඉන්න කාලේ මම කරගත්තු ලොකු පිනක්. මගේ දුවටත්, පුතාටත් සීයාගේ සෙනෙහස නොඅඩුව ලැබුණා. අපේ තාත්තා හරිම වාසනාවන්තයි. එයාට දරුවෝ 5 දෙනයි. මුනුපුරු මිනිපිරියන් 15 දෙනයි. තාත්තා නැතිවෙන කොට ඒ හැමෝම ඇඳ ළඟ හිටියා.‘ තිලකරත්න සම්පත් එසේ කීවේය.
‘පොලිසියේ රාජකාරි කළාට අපේ තාත්තා පොඩ්ඩක්වත් සැර නෑ. ඒ වගේම හරි නිහතමානියි. කා එක්කත් හරි හිතවත්. පොලිසියේ අයයි මේ පළාතේ අයයි මගේ යාළුවොයි හැමෝම එයාට කතා කරන්නේ අපි ගෙදර කතා කරන විදිහට ‘ඩඩා‘ කියලයි.‘
‘තාත්තාට මම තමයි එයාගේ ජීවිතේ. හැමතිස්සෙම මාව හොයනවා. මම එයා එක්ක විහිළු තහළු කරලා ආදරයෙන් තුරුලු කරගෙන සිපගත්තම එයාට හරි ආසයි. ඉතින් මට තාත්තාට ඒ සෙනෙහස දෙන්න පුළුවන් වීම දරුවෙක් හැටියට ලොකු පිනක්. අද මට දුකක් නැත්තේ මම එයාට දරුවෙක් හැටියට කරන්න ඕන යුතුකම් සියල්ල ඉටු කරපු නිසයි. ඒක මට ඇතිවුණේ මම තාත්තා කෙනෙක් වුණාට පස්සේ නෙවෙයි. කොහොමත් මම මව්පියන්ගේ අගය මුල ඉඳලම තේරුම් අරගෙනයි හිටියේ. මොකද මව්පියන් කියන චරිත දෙකට ආදේශක නෑ. අපිට හැමදෙයකටම ආදේශ තියෙන්න පුළුවනි. ඒත් අම්මා තාත්තා නැතිවුණොත් එතැනට ආදේශක නෑ. ඒ නිසා එයාලා ජීවතුන් අතර ඉන්නතාක්කල් හොඳට රැකබලා ගන්න ඕනා.
කොච්චර බලාගත්තත් නැතිවුණාට පස්සේ අපි සැලකුවා මදියි කියන හැඟීම අපිට එනවා. මොකද අම්මා තාත්තාට සැලකීම කවදාවත් එපා වෙන්නේ නෑ. ඇතිවෙන්නේ නෑ. මම හැමෝටම කියන්නෙත් පුළුවන් තරම් මාපියන්ට සලකන්න කියලයි. මොකද එයාලා නැතිවුණාට පස්සේ සැලකුවේ නෑ කියලා අපිට පසුතැවිලි වෙන්න සිද්ධ වෙයි. හැමදේකටම වඩා ප්‍රමුඛත්වය ලැබෙන්න ඕනා අම්මා තාත්තාට සැලකීමට. අනිත් හැමදේම දෙවැනුවට. මොකද අපි ජීවත්වෙලා ඉන්නේ මව්පියන් නිසයි. මම ඇත්තටම සතුටුවෙනවා මගේ අම්මා තාත්තාට සලකලා මගේම ගෙදරක තාත්තාගේ අන්තිම කටයුතු හොඳම විදිහට කරලා එයාට දෙන්න පුළුවන් ඉහළම ගෞරවය දෙන්න පුළුවන් වීම ගැන. තාත්තාට හොඳ තැනක, හොඳ ආත්මයක් ලැබෙයි කියන සතුට මගේ හිතේ තියෙනවා.‘ තිලකරත්න සම්පත් එසේ කීවේය.
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:07
2025 මැයි 12, පෙ.ව. 12:04
2025 මැයි 11, ප.ව. 4:39
2025 මැයි 11, ප.ව. 3:42
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25