hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2024 ජූලි 24, ප.ව. 6:39


පොලිස්පතිගේ අතුරු තහනම පිළිබඳ කැබිනට්ටුවෙන් හදිසි තීරණයක්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීම⁣ට අද (24) ජනාධිපති ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළා.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළා.

තීන්දු ප්‍රකාශයට පත්කළමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, මෙම පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවයි.