hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2022 ජූලි 11, පෙ.ව. 10:54



කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(11) පස්වරුවේ පැවැත්විමට නියමිතව තිබෙනවා.

එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ අද පස්වරු 02.00ටයි.

එහිදී වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරනු ඇති.

මේ අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේ කලින් දැනුම් දුන් පරිදි ජූලි මාසයේ 13 වන දා තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බවයි.

නම් දෙකක්

මේ අතර නව ජනාධිපති ධූරය සඳහා නම් දෙකක් යෝජනා වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව අන්තර්වාර පාලන රජයක ජනාධිපති අගමැති තනතුරු දෙක සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නම් යෝජනා වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ නම් දෙක යෝජනා වූ ඇත්තේ ජනාධිපති තනතුරු සඳහා බවයි වාර්තා වන්නේ.

යළි අගමැතිවරයෙකු තේරීම සඳහා පාර්ලිමේන්තුව තුළ තරගයක් ඇති නොවිය යුතු බවත් මේ දෙදෙනා අතර ම තනතුරු දෙක බෙදී යාම ප්‍රමාණවත් වන බවත් ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ මතය වී තිබෙනවා.

පොහොට්ටුවෙන් ඩලස්

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණිය යුතු බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ පොහොට්ටුව හා සම්බන්ධ පිරිස වැඩි බැවින් ජනාධිපති ධූරය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට හිමි විය යුතු බවයි.

එසේ වුවත් ඔවුන් විසින් ම තීරණයකට එළැඹීම වඩාත් සුදුසු යැයි ද එම කණ්ඩායමේ මතය වී තිබෙනවා.

මේ පිළිබ ඊයේ (10) තලතා අතුකෝරළ මන්ත්‍රීවරියගේ නිවසේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඊට ශ්‍රී ලනිපය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් ද, පක්ෂ 10 කණ්ඩායමෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි සහ වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රීවරුන් ද, ස්වාධීන මන්ත්‍රීවරුන් වෙනුවෙන් අනුර යාපා මන්ත්‍රීවරයාද, සමගි ජන බලවේගයෙන් රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරළ, රාජිත සේනාරත්න, බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන් ද ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන් හා සෙන්දිල් තොන්ඩමන් යන පොහොට්ටු මන්ත්‍රීවරුන් දෙදෙනා ද සහභාගි වී තිබෙනවා.

අගමැති සජිත්

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම ධූරවලින් ඉවත් වූ විට විකල්ප අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු සදහන් කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව එය සිදුවන බවයි.

කෙසේවෙතත් කුමන පාර්ශවයක් ආණ්ඩුව පිහිටුව ද ඔවුන්ට අරගලයේ අපේක්‍ෂාවන් සමග සම්මුතියකට එළඹීමට සිදුවන බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සඳහන් කළේ.

අද (11) පස්වරු 2.00ට පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බැවින් ඒ වනවිට දැනට යෝජනා කර ඇති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට හා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට එකඟතාවකට පැමිණෙන ලෙස දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: