hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 02, පෙ.ව. 12:06



පර­ස්ප­රව ඉදි­රි­පත් කරන අද­හස් දිගු කතා­වන්ට මඟ පාද­න්නේය.

එවැනි අවස්ථා පුවත් මැවී­ම­ටද හොඳ මූල බීජ­යන්ය. නොසැ­ල­කිල්ල, කම්මැ­ළි­කම, නොස­ලකා හැරීම, නිසි මොහොතේ නිසි දේ නොකි­රීම, හරි දේ කිරී­මට කල් ගැනීම යන මේ හැම අව­ස්ථා­ව­කින්ම සිදු­වන්නේ නොසිතූ විරූ කතා­වන්ට මුල පෑදීම මෙන්ම සියලු නෙත් සිත් සැකය දෙසට යොමු කරන අව­ස්ථාය.

එවැනි සැකය මූලික කර­ගත් කතා රැස­කට මඟ පෑදු සිදු­වී­මක් පසු­ගි­යදා වාර්තා වූයේ මාතර කොට­විල නව දිස්ත්‍රික් රෝහ­ලෙනි. ඩබ්ලිව්.ඒ. කාවින්ද්‍යා මදු­ශානි හා ආර්.එච්. සජිත් චතුර වැලි­ගම කොහු­ණු­ග­මුව ප්‍රදේ­ශයේ පදිංචි සිටී. පළමු දරුවා සිය කැදැ­ල්ලට එක් කර ගැනීමේ බලා­පො­රො­ත්තු­වෙන් සිටි යුව­ළකි.

සජිත් හා කාවින්ද්‍යා මදු­ශානි දින ගනි­මින් සිටියේ සිහින ගොඩක් සිතේ රඳ­වා­ගෙ­නය. ඒ නිසාම දරුවා පිළි­සිඳ ගත් කාලයේ පටන් ප්‍රසව හා නාරි­වේදී විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වෙත යොමුවී උප­දෙස් ලබා ගැනී­මට ද මොවුන් අම­තක නොක­ළහ.

ඒ අතර සුපු­රුදු පරිදි පසු­ගිය 22 වැනි දින සිය වෛද්‍ය­ව­රයා වෙත කාවින්ද්‍යා මදු­ශානි ගොස් ඇත්තේ සති තිස්හ­යක් වන තම කුසේ සිටින දරු­වාගේ තත්ත්වය පරීක්ෂා කර ගැනී­ම­ටය. ඒ වෙනදා මෙන් දින කීප­යක් කුසේ දරුවා දඟ­ලන්නේ නැති නිසාය.

එහිදී කාවි­න්ද්‍යාගේ දරු ගැබ පරීක්ෂා කළ ප්‍රසව හා නාරි­වේදී විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යාට ඇගේ කුසේ සිටින දරු­වාගේ හෘදය ක්‍රියා නොක­රන බව තේරුම් ගොස් ඇති අතර දරුවා මිය­ගොස් ඇති බවට සැක ඇති වී තිබේ.

ඒ අනුව මවගේ ජීවි­ත­යට අන­තු­රක් වේය යන සැකය ඇති­වීම නිසා මව බේරා­ගැ­නීමේ අර­මුණ ඇතිව කාවි­න්ද්‍යාට වහාම රෝහ­ල්ගත වන ලෙස වෛද්‍ය­ව­රයා උප­දෙස් දී තිබේ. ඒ කුස තුළ සිටින දරුවා වහා පිට­තට ගැනීමේ අව­ශ්‍ය­තාව දැනීම නිසාය.

එම උප­දෙස් අනුව කාවින්ද්‍යා එදින රාත්‍රී 11:30ට පමණ මාතර කොට­විල නව දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතු­ළත් වී තිබේ. ඒ අනුව වෛද්‍ය වාර්තා සමඟ ඇය පරීක්ෂා කළ නව දිස්ත්‍රික්ක මහ රෝහලේ වෛද්‍ය­ව­රුන් ද කාවි­න්ද්‍යාගේ ගැබේ සිටින දරුවා මිය ගොස් ඇති බවට තහ­වුරු කර ගැනී­මෙන් අන­තු­රුව ඇයගේ ජීවි­තය බේරා­ගැ­නීමේ අර­මු­ණෙන් මළ­දරු උප­තක් සිදු කර ගැනී­මට අවශ්‍ය ඖෂධ කාවි­න්ද්‍යාට ලබා දීමට කට­යුතු කර ඇත.

එම අව­ස්ථා­වේදි මව මේ බිලිඳා කුසේ මිය­ගොස් ඇති බවට පිළි­ගෙන ඇති බවත් එම මළ­දරු ප්‍රසූ­තිය සිදු­කි­රීම සඳහා තමා අව­සර දෙන බව­ටත් අදාළ ලිපි ලේඛ­න­ව­ලට කාවින්ද්‍යා සිය අත්අ­කු­රෙන් ලියා අත්සන් තබා ඇති බව මාතර මහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරු­ණා­රත්න මහතා පැවැ­සීය.

ඒ අනුව රෝහල් වාර්තා සට­හන් අනුව කියැ­වෙන්නේ නිය­මිත ඖෂධ ප්‍රති­කාර ලබා­දී­මෙන් පසු දරු ප්‍රසූ­ති­යක් සඳහා සූදා­නම්ව සිටි කාවින්ද්‍යා 24 වැනි දින අලු­යම 2.41ට පමණ දරු ප්‍රසූ­තිය සිදු කර ඇති බවයි.

ඒ අනුව වාර්තා අනුව තහ­වුරු වන මළ­දරු ප්‍රසූ­ති­යෙන් පසු කාවි­න්ද්‍යා­ටත්, ඇයගේ ස්වාමි­පු­රු­ෂ­යා­ටත් රෝහල් කාර්ය මණ්ඩ­ලය වෙතින් විටින් විට ලබාදී ඇති පර­ස්පර තොර­තුරු අනුව ඇති­වූයේ සුවි­ශේෂී තත්ත්ව­යකි. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩ­ලය හා කාවි­න්ද්‍යාගේ පවුලේ උද­විය අතර ඇති වූ වාද විවාද ඔස්සේ සිදු­වීම මාධ්‍ය­ව­ලට වාර්තා වීමත් සමඟ ලැබුණු ප්‍රචාර ඔස්සේ මුළු රටේම අව­ධා­නය දිනා­ගත් කතා­වක් බවට පත්විය. ඒ කාවි­න්ද්‍යාට උපන් දරුවා අතු­රු­දන්ව ඇතැයි යන කතාව කර­ළි­යට ඒමත් සම­ඟය.

සිදු­වීම සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ ඩබ්ලිව්.ඒ. කාවින්ද්‍යා මදු­ශානි මෙලෙස පැව­සු­වාය.

“බබා හම්බ­වෙන්න හිටි­යට පස්සේ මම මාස්පතා යන වැලි­ගම තිබෙන පෞද්ග­ලික චැනල් එකට විසි දෙවැ­නිදා ගියා. ඒකෙදි මම දිග­ටම චැනල් කරපු වෛද්‍ය­ව­රයා කිව්වා බබාගේ හාට් එක වැඩ කරන්නේ නැහැ රෝහ­ලට යන්න කියලා. පසුව රෝහලේ නැව­තුණා. දරුවා ගන්න අමාරු වෙන්න බෙහෙත් දාලා කැමැත්ත අර­ගෙන දරුවා ගත්තා. වෛද්‍ය­ව­රුන් කියන්නේ මගේ බඩේ­දිම දරුවා නැති වෙලා කියලා. ඩොක්ටර් කියන දේ තමයි මම දන්නේ. මම ඩොක්ටර් කෙනෙක් නෙවෙ­යිනේ. එයාලා කියන දේ තමයි මම දන්නේ. කොහොම හරි විසි­තුන් වැනිදා රෑ දරුවා ලැබුණා. දරුවා ඉප­දු­ණාට පස්සේ මගේ අත­ට­වත් දුන්නේ නැහැ. අල්ල­න්න­වත් දුන්නේ නැහැ. පොඩ්ඩක් පෙන්නුවා විත­රයි. කොහොම හරි මගේ මහ­ත්තයා එන­කම් දරුවා තියා­ගන්න කියලා මම කිව්වා. ඒත් ඒ කිසි­වක් වුණේ නෑ. මේ ප්‍රශ්න ඔක්කොම වුණේ ඒකෙන්”

දරු­වෙකු අතු­රු­ද­න්වීම, මාරු­වීම, තොර­තුරු සැඟ­වීම ආදී අංශ ඔස්සේ ඒ සම්බන්ධ පුවත් මාධ්‍ය­වල පළ වීමත් සමඟ ඇති වූ කතා­බහ පිළි­බ­ඳව කාවි­න්ද්‍යාගේ සැමියා වූ සජිත් චතුර මෙසේ පැව­සීය.

“24 උදේ මම වාට්ටු­වට ගිහින් දරුවා බලන්න ඕනෑ කියලා කිව්වට පස්සේ වාට්ටුවේ හිටිය මිස්ලා කිව්වේ පල්ලෙ­හාට ගිහින් බලන්න කියලා. පසුව කිව්වා මාතර රෙජි­ස්ට්‍රාර් ළඟට ගිහින් රෙජි­ස්ට්‍රාර් කර මාතර නගර සභා­වට ගිහින් භූම­දාන කට­යුතු සඳහා ඉඩක් වෙන් කර­ගෙන එන්න කියලා. ඉන් පස්සේ මම ආවා. මට දරුවා බලන්න ඕනෑ කියලා කිව්වා දරු­වගේ තාත්තා හැටි­යට. ඊට පස්සේ කට්ටිය කිව්වා දරුවා පෙන්නන්න ලිහ ලිහ ඉන්න වෙලා­වක් නැහැ කියලා. හෙට ගෙනි­ය­න­වනේ එහෙම බලා­ගන්න කිව්වා.

24 වැනි දින ඔක්කොම වැඩ ටික කරලා 25 වැනි දින දරු­වාගේ අව­සන් කට­යුතු කරන්න දරුවා මට දෙන්න කියලා මම කිව්වා. අවශ්‍ය ලිය­කි­ය­විලි දුන්නා. 25 ඇවිත් දරුවා ඉල්ලන විට එයාලා කිය­නවා දරුවා නැහැ කියලා. මම අහන විට එයාලා කිය­නවා භූම­දාන කට­යුතු සඳහා පී.එච්.අයි. මහ­ත්තයා අර­ගෙන ගියා කියලා. ඊට පස්සේ කිය­නවා මෝච­රි­යට දැම්මා කියලා. මං ඊට පස්සේ ඇහුවා ඉඩක් වෙන් කර­ගෙන එන්න කියලා මෙහෙම කළාම හරිද කියලා. දැන් ගෙනි­හින් භූම­දාන කට­යුතු කර ඉව­රයි. එදා බහින් බස්වී­මක් වුණා. පසුව පොලි­සි­යෙන් ආවා. ඇවිත් උප­දෙස් දුන්නා නීතිය ක්‍රියා­ක්මක කරන්න නම් පොලි­සි­යට පැමි­ණිලි කරන්න කියලා. ඒ වෙලාවේ මිස් කෙනෙක් කිව්වා පොලි­සි­යට පැමි­ණිලි කරන්න එපා. කොළඹ සිට මර­ණ­යක් එනවා කියලා. ඒ අනුව රෝහලේ බල­ධා­රීන් විසින් විටින් විට පල­කළ අද­හස් මත අපට සැක­යක් ඇති වුණා.”

රෝහල් සේව­ක­යන් ලබා දුන් පර­ස්පර ප්‍රකාශ ඔස්සේ ඇති වූ තත්ත්වය සම්බ­න්ධ­යෙන් මාතර මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරු­ණා­රත්න මහතා මෙසේ පැව­සීය.

“24 වැනිදා අලු­යම් කාලයේ තමයි මේ මව සිය මිය­ගිය දරුවා ප්‍රසූත කර තිබෙන්නේ. ප්‍රසූත කරන විට වයස සති තිස්හ­යක් වෙච්ච කල­ලය තර­මක් නරක් වී තිබුණා. 25 වැනිදා පෙර­ව­රුව වන විටත් බිලි­ඳාගේ මළ සිරුර රෝහලේ මෘත­ශ­රී­රා­ගා­රයේ තිබුණා. බිලි­ඳාගේ සිරුර භාර­ගැ­නීම සඳහා 24 දින ඥාතින් කිසි­වකු ඉදි­රි­පත් වෙලා තිබුණේ නැහැ. 25 වැනිදා පස්ව­රුවේ තමයි ඥාතීන් ඇවිත් මළ­සි­රුර ඉල්ලා තිබෙන්නේ. රෝහලේ සාය­නික අප­ද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරන ලොරිය පැමි­ණෙන්නේ සති දෙක­කට සැර­යක්. 25 වැනිදා එම ලොරිය පැමි­ණිලා තිබෙ­නවා. මළ­සි­රුර ඥාතීන්ට අවශ්‍ය බවට නිසි සන්නි­වේ­ද­න­යක් රෝහල් කාර්ය මණ්ඩ­ලය අතර සිදු වී නැති තත්ත්ව­යක් මත බිලි­ඳාගේ මළ­සි­රු­රත් ඒ වන­විට භාර­ක­රු­වන් නැති අනෙ­කුත් සිරුරු සමඟ අදා­හ­නය කිරීම සඳහා රැගෙන යන එම ලොරිය වෙත රෝහල් මෘත­ශ­රි­රා­ගා­ර­යෙන් මුදා හැර තිබුණා.

25 වැනිදා පස්ව­රුවේ ඥාතීන් ඇවිල්ලා බිලි­ඳාගේ මර­ණය ඉල්ලා සිටි වෙලාවේ සිටිය සේව­කයා සිරුර ලොරි­යට භාර­දීපු බවක් දැන­ගෙන ඉඳලා නැහැ. ඔහු කියලා තිබෙ­නවා සිරුර දෙන්න නම් අවශ්‍ය ලිය­කි­ය­විලි ටික රැගෙන එන්න කියලා. ඒ ඥාතීන් අවශ්‍ය ලිය­කි­ය­විලි ටික රැගෙන එන­කොට සිරුර ලොරි­යට භර­දීලා ඉව­රයි. පසුව ඥාතීන් සිරුර දෙන ලෙස කළ ඉල්ලීම මත බිලි­ඳාගෙ මළ­සි­රුර නැවත ලොරියේ සිට ගෙන්වා­ගෙන ඔවුන්ට භාර­දී­මට කට­යුතු කළත් එම මළ­සි­රුර භාර­ගැ­නී­මට ඔවුන් අක­මැති වෙලා තිබෙ­නවා. ඔවුන් එම අව­ස්ථා­වේදි ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් කර ගැනී­මට මළ­සි­රුර දිය හැකිද යන්න ඥාතීන් විම­සුව අව­ස්ථා­වේදි කොට­විල රෝහල භාරව ඉන්න නියෝජ්‍ය රෝහල් අධ්‍ය­ක්ෂ­තුමා පවසා තිබෙ­නවා ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් කර­ගැ­නී­මට මළ සිරුර පිට­තට ගෙන­යෑ­මට දිය නොහැකි බවත් එසේ කරන ආය­ත­න­ය­කින් පැමිණ ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් කිරීම පිළි­බ­ඳව විරු­ද්ධ­ත්ව­යක් නැතැයි කියාය. එහෙ­මත් නැති­නම් උසාවි නියෝ­ග­යක් මාර්ග­යෙන් ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් කර­න්න­යැයි නියෝග කළොත් රජය මඟින් එම ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණය කර දෙනවා කිය­ලත් ඒ අයට කියා තිබුණා. ඒ අනුව ඉදිරි කට­යුතු සිදු වෙන­කම් බිලි­ඳාගේ සිරුර කොට­විල රෝහලේ තියන්න පහ­සු­කම් නැති නිසා මාතර මහා රෝහලේ මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කර තබන්න අපි තීර­ණය කළා”

මේ සිදු­වීම අතරේ මිය­ගොස් සිටි බිලි­ඳාගේ ඥාතීන් විසින් කොට­විල පොලි­සි­යට කරන ලද පැමි­ණි­ල්ලට අනුව පොලි­සිය විසින් අධි­ක­ර­ණය වෙත කරුණු වාර්තා කිරී­මෙන් පසු මාතර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අරුණ ඉන්ද්‍ර­ජිත් බුද්ධ­දාස මහතා විසින් මේ සිරුර සම්බ­න්ධ­යෙන් ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් කරන ලෙස 27 වැනි දින සවස නියෝග කර ඇත.

ඒ අනුව 28 වැනි දින ඒ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීම හා බිලි­ඳාගේ මර­ණය පිළි­බ­ඳව පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යුතු මාතර අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී විසින් සිදු කර තිබිණි.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් මේ වන විට කොට­විල පොලි­සිය සහ සෞඛ්‍යය දෙපා­ර්ත­මේ­න්තුව පරී­ක්ෂණ පව­ත්ව­මින් සිටින අතර ඉන් ඉදි­රි­පත් වන කරුණු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

(උපුටා ගැනීමක්)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: