hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 17, පෙ.ව. 12:03



ලබන ජූලි මස මුල් සතියේදී ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරී ගුරු පත්වීම් 2500ක් පමණ ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එම සියලු‍ උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරුව, සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇතැයි හෙතෙම පවසනවා.

නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකල නව තෙමහල් තාක්ෂණ ගොඩනැගල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරත් පවසා සිටියේ, අධ්‍යාපන ඩිජිටල්කරණය යනු හුදු කළුලෑල්ලෙන් සුහුරු තීරයට මාරුවීමක් පමණක් නොවන බවයි.

ඒනිසා නවීනතම ‘ස්මාට් බෝඩ්‘ 2500ක් ලබන අගෝස්තු-සැප්තැම්බර් මස වනවිට දිවයිනේ සියලු‍ පර්ෂද මූලස්ථ ප්‍රමුඛ පාසල්වලට පළමු අදියර තුළ ලබාදීමට පියවර ගන්නා බවයි.

තවද වසර තුනක් ඇතුළත සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර, එකම ජාලයකට ගෙන සුහුරු අධ්‍යාපන අවස්ථා සැලසීමට අපේක්ෂා කරන බවත් ඔහු මෙහිදී පැවසුවා.

මේ සඳහා වන ගුරු පුහුණුවීම්වලට අදාළ ගුරු අත්පොත මේ වනවිට විෂය ප්‍රවීණ විද්වතුන් ලවා සකසා අවසන් ව ඇති බවත්, මූලික වටයේදී ගුරුවරුන් 7500ක් පුහුණු කරන බවද ඔහු මෙහිදී පැවසුවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන විට 1-6-10 නියමු ව්‍යාපෘති 2025 වර්ෂයේ ආරම්භ වන අතර, ඒ අනුව ඉදිරියේදී 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය විභාගයෙන් පමණක් ගත නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඔහු කරුණු දක්වා සිටියේ විභාගයෙන් ලකුණු 30%ක් 4-5 ශ්‍රේණිවලදී පන්ති කාමරය තුළ අධ්‍යාපනය ලබන අතරවාරයේ උපයාගත යුත් බවයි.

එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත්, අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මගින් සිදු කෙරෙන බවත්ය.

නව ලොව අධ්‍යාපන ප්‍රවණතා සැලකිල්ලට බඳුන් කර සැලසුම් කර ඇති මෙම අධ්‍යාපන ක්‍රමවේද අනුව වයස අවුරුදු 21 වනවිට පළමු උපාධිත්, අවුරුදු 23 වනවිට පශ්චාත් උපාධිත්, අවුරුදු 27න් ආචාර්ය උපාධියත් ලබා ගැනීමට ඉදිරියේ දී දරුවන්ට අවකාශ උදාකරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: