hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 26, ප.ව. 5:41



ඉන්ධන මිල තවදුරටත් ඉහළ යෑම හේතුවෙන් ගොවීන්ට, ව්‍යාපාරිකයන්ට දැඩි අසීරුතා රැසකට මුහුණ පෑමට සිදුව ඇතැයි  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් ව්‍යාපාරිකයින් අද (26) පැවසූවා.

මේ වන විටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සීඝ්‍රයෙන් පහත ගොස් තිබෙන බවත් ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන ව්‍යාපාරිකයන්ගේද විශාල අඩුවක් පවතින අවස්ථාවක එක වරම ඉන්ධන මිල තවදුරටත් ඉහළ යෑම තුළින් ආර්ථික මධ්‍යස්ථානය පමණක් නොව එළවළු වගාවද අකර්මන්‍ය වීමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු වර්ග රැගෙන එන බවත් ඒවා මිලදී ගැනීමටද දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ව්‍යාපාරිකයන් පැමිණෙමින් සිටින නිසා ඉන්ධන මිල ඉහළ යෑම තුළ තවදුරටත් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවට පෙන්වා දෙන ව්‍යාපාරිකයන් කියා සිටියේ මේ වන විටත් එළවළු ගෝනි පිටින් රැගෙන ආ එළවළු ඉතා සීමිත ප්‍රමාණයන් ෂොපින් බෑග්වල පවා අලෙවි කිරීමට රැගෙන විත් ආර්ථික   මධ්‍යස්ථානයේ තබා තිබෙන දසුන් දැක ගැනීමට හැකි බවයි.

ඉන්ධන නොමැති වීම, මිල ඉහළ යෑම ආදී කරුණු සියල්ල නිසා අද (26) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ බොහෝ එළවළු අලෙවි කර ගැනීමට නොහැකිව ලත වන බවක් දක්නට තිබූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු කියා සිටියේ ඉන්ධන පෝලිම් නිසා ග්‍රාමීය ප්‍රදේශවල, තදාසන්න ප්‍රදේශවල වෙනම උප සංස්කෘති රැසක් බිහි වී ඇති බවයි.

කාන්තාවන් රාත්‍රී කාලයේ ඉන්ධන පෝලිම් වල රැඳී සිටින අවස්ථාවන්හි දී විවිධ සංස්කෘතියට පටහැනි ක්‍රියාවලියන් රැසක් සිදු වෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ අවධාරණය කරනවා.

එමගින් සංස්කෘතිය, සදාචාරය, විනය, නීතිය ආදී සියල්ල ඉන්ධන පෝලිම් හමුවේ දියාරු වෙමින් පවතින බවද ඔවුන් පවසනවා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස