hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 17, පෙ.ව. 5:40



මීට මාස 5ක පමණ පෙර මසුන් අඩංගු බහාලුම් 98කට අධික ප්‍රමාණයක් රැගත් විදෙස් රටකට අයත් නෞකාවක් කොළඹ වරායට රැගෙනවිත් තිබුණේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.

එහිදී අදාළ බහාලුම්වල තිබූ මසුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින් අදාල බහාලුම් වරායේ ගබඩා කිරීමයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් සැමන් ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයෙකු අදාල නැව් සමාගමෙන් මෙම බහාලුම්වල අඩංගු මසුන් මිලදී ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ඉන් බහාලුම් 25ක් කොළඹ වරායෙන් පි‍ටතට රැගෙන ගොස් ඇති බව ද වාර්තා වෙනවා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ප්‍රකාශ කළේ අදාල බහාලුම් වැලිසර ප්‍රදේශයේ බහාලුම් අංගනයකට රැගෙන ගොස් ඇති බවයි.

“මේ පිළිබඳව වගකිව යුතු නිලධාරීන් දැනුවත් කළා. එයාලා කියන්නේ දියර පොහොර හදන්න මදුරන්කුලියට ගෙනියනවා කියලා. නමුත් අපි දන්න විදියට මෙච්චර ලොකු ප්‍රමාණයක් මේ මදුරන්කුලිය ට ගෙනියන්න බැහැ. මේක මුල ඉදලම ලොකු ප්‍රෝඩාවක් කරලා කරවල කට්ටියට දෙන්න තමයි මේ පුද්ගලයාගේ ඒකායන පරමාර්ථය. කරවල කාරයට දීලා එක කිලෝ එකක් දැන් යන ගාණට රුපියල් 500කට විතර දෙන්න පුලුවන් ඇස් වහලා.”

මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම බලධාරීන්ට දැනුම් දුන්නද ඊට නිසි ප්‍රතිචාරයක් නොමැති බැවින් අද මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ පිරිස් වැඩිදුරටත් පැවසුවේ.