2023 ජූනි 15, පෙ.ව. 10:57
මැතිවරණ රාජකාරී වලින් ග්‍රාම නිලධාරීන් ඉවත් කිරීමට උත්සාහ කිරීම හරහා එම කටයුතු දේශපාලනීකරණය වීමේ බරපතළ කුමන්ත්‍රණයක් පිළිබඳ සැකයක් උද්ගතව පවතින බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න මහතා පවසනවා.
මහනුවර ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කල ඒ මහතා කියා සිටියේ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා බරපතළ අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් රටේ ජනතාව නොමඟ යවමින් කටයුතු කිරීම ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය වශයෙන් අප්‍රසාදයෙන් යුක්තව හෙළා දකින බවයි.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා.
“මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මාධ්‍ය හමුවේ සඳහන් කරනවා ග්‍රාම නිලධාරීන්ට ඡන්ද හිමිකම් ගණන් ගැනීමේ කටයුතු භාර දුන්නේ අප්‍රේල් මාසයේ කියලා. ඒක මහ බොරුවක්. ඡන්ද ගණන් ගැනීම පිළිබඳ පුහුණු පන්ති ග්‍රාම නිලධාරීන්ට පැවැත්වුණේ අප්‍රේල් මාසයේ තමයි. එතකොට කොහොමද ඒ කටයුතු කරන්නේ. මැතිවරණ දෙපාර්තමේන්තුවට එහෙනං තිබුනේ මේ පුහුණු පන්ති පෙබරවාරි මාසයේ පවත්වන්නයි. ඒ අය ඒ කටයුතු පමා කරලා දැන් අපේ පිට වැරදි පටවන්න හදනවා. ග්‍රාම නිලධාරීන් තමයි ඉතිහාසයේ මුල සිටම මේ මැතිවරණ රාජකාරි කටයුතු කළේ.
ග්‍රාම නිලධාරීන් තමයි මහජනතාව සමග බිම් මට්ටමේ රාජකාරි කරන රාජ්‍ය නිලධාරියා. ග්‍රාම නිලධාරීන්ට දේශපාලන අයිතිය නැහැ. ස්වාධීනව තමයි කටයුතු කරන්නේ. ඡන්ද හිමියන් ගණන් ගැනීම, මැතිවරණ රාජකාරි, ඡන්ද ප්‍රකාශ කිරීම වගේම මැතිවරණයට අදාළ අනිකුත් රාජකාරි සියල්ල කළේ ග්‍රාම නිලධාරීන් විසින්. නමුත් මේ කටයුතු සඳහා ග්‍රාම නිලධාරීන් අවශ්‍ය නෑ කියන තර්ජනය මීට කලින් පවා අපට කරල තියනව. අපි දේශපාලන පක්ෂ වලින් වගේම මැතිවරණය සඳහා උනන්දුව දක්වන සියලුම කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා මේ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න කියලා. නැත්නම් මේකත් සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙයි කියන සැකය අපට තියෙනවා.
ඡන්ද හිමි නාමලේඛන යථාවත් කිරීමේ කටයුතු පටන් ගත්තේ මාස තුනක් පහුවෙලා. ඒ නිසයි අපි කිව්වේ මාසයක් ඇතුළත මේ කටයුතු සම්පූර්ණ කරන්න බෑ. අපට අමතර දවස් විස්සක් දෙන්න කියලා. එහෙම නැතුව අපි දීමනා හෝ විශේෂ දෙයක් ඉල්ලුවේ නෑ. අමාරුකම් රැසක් මාධ්‍යයේ තමයි අපි මේ කටයුතු කරන්නේ. ග්‍රාම නිලධාරීන් 14.000 ක් සිටිය යුතු වුවත් ඉන්නේ 9.000 ක් පමණ පිරිසක්. බොහෝ නිලධාරීන්ට වසම් දෙකක් ආවරණය කරන්න වෙලා. මේ ගැන තමයි අපි කිව්වේ. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය වසයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රකාශ අප්‍රසාදයෙන් හෙළා දකිනවා. අපි නැවත වරක් එතුමාගෙන් ඉල්ලා සිටින්නේ බරපතළ අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව මුලා කරන්න එපා කියලයි.” යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.
මහනුවර – කමල් සුරවීර
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06