hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 23, පෙ.ව. 10:44



මහනුවර කුරුණෑගල මාර්ගයේ අලදෙනිය සහ හෑදෙනිය යන ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකෙන් ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් දිවා රෑ නොබලා පෝලිම්වල රැඳී සිටියදී ප්‍රදේශයේ ප්‍රාදේශීය බස් රථ වලට හා අනෙකුත් මෝටර් රථ වලට සීමාවකින් තොරව ඉන්ධන ලබා ගන්නා බවට ජනතාව චෝදනා කරයි.

මෙම ප්‍රාදේශීය දේශපාලකයාට මගී ප්‍රවාහන බස්රථ විශාල ගණනක් ඇති අතර එම බස් රථ කුරුණෑගල මහනුවර, මැදවල මහනුවර සහ හෑදෙනිය මහනුවර යන මාර්ග වල මගී ප්‍රවාහන කටයුතු සිදුකරන බවද ඔවුන් සඳහන් කරයි.

ඉන්ධන පෝලිමේ කොතරම් පිරිසක් සිටියත් පළමුවෙන්ම එම පෝලිමට කඩාවදින ඔහුගේ බස් රථ පෙලට ඉන්ධන නිකුත් කළ යුතු බවට ප්‍රාදේශීය දේශපාලනඥයා නියෝගයක් නිකුත් කර ඇති බව ඉන්ධනහල් බලධාරීන් පවසයි.

මෙම බස් රථ පෙළ පිටුපසින් පැමිණෙන මෙම දේශපාලඥයාගේ හිතවතුන්ගේ වාහන වලට පෝලිමට පිටින්ද ඉන්ධන නිකුත් කරන බව ජනතාව පවසයි.

යම් හෙයකින් පෝලිමේ සිටින කිසිවකු හෝ ඊට විරුද්ධත්වය පළ කළොත් ඔවුන්ට දැඩි තර්ජන එල්ල වන බව ද පැවසේ.

පෙට්‍රල් පමණක් ඇති අලදෙණිය නගරයේ ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන පැමිණෙනතුරු කොතරම් පිරිසක් රැදී සිටිය ද පෙට්‍රල් නිකුත් කිරීම ආරම්භ වනවාත් සමගම අදාල ප්‍රාදේශීය දේශපාලනඥයාගේ පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ හිතවතුන් පෝලිමෙන් පිටතින් පැමිණ පළමුවෙන් ඉන්ධන ලබා ගෙන යන බවටද ජනතාව චෝදනා කරනවා.