hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 24, පෙ.ව. 10:26



මේ වන විට ඉන්ධන හල් පෝලිම් අසල 14 දෙනෙක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

වාහන තුළ මෙන්ම තෙල් පෝලිමේ රැඳී සිටියදී මිය යාම සහ තෙල් පෝලිම් වල විවිධ අනතුරු වලට ලක් වීමෙන් මිය පිරිසක්ද වාර්තා වුණා.

දින ගණනක් පෝලිම් වල රැඳී සිටිමින් අධික වෙලාවක් නිරාහාරව පෝලිම් වල රැඳී සිටිමින් මිය ගිය අයද දක්නට ලැබුණා.

විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා මෙලෙස මිය යාමට හේතුව සහ එවැනි දෙයක් වීමට ප්‍රථම සිදු කළ යුතු දේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

දියවැඩියාව සහ බෝ නොවන රෝගීන් තමන්ට නියමිත ඖෂධ මාත්‍රාව නිසි පරිදි ලබා ගන්න.

සාමාන්‍යයෙන් ගන්න ආහාර ප්‍රමාණය පෝලිමේ සිටියත් ලබා ගැනීම අවශ්‍යයි.

ඇතැම් බෙහෙත් වර්ග නිසා විජලනය තත්ත්වය ඇති විය හැකියි.

අඩු තරමේ ලීටර් 1 හමාරක්වත් ජලය පානය කළ යුතුයි.

දෙහි යුෂ, ජීවනී වැනි දෙයක් ද සුදුසුයි.

තමන්ට තද පපුවේ කැක්කුම , දාඩිය දැමීමක්, බෙල්ල සිර වීමක්, පපුව ගැහෙන ගතියක් වැනි අසාමාන්‍ය රෝග ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙන්න.

මේ අසාමාන්‍ය, අවාසනාවන්ත තත්ත්වය යටතේ වුණත් තමන්ගේ සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා දැඩිව කියා සිටියේ.

මේ අතර පසුගිය දින කිහිපය පුරාම මෙවැනි ආකාරයේ මරණ වාර්තා වුණා.

ඒ අනුව ආසන්නතම සිදුවීම වන්නේ ඊයේ දිනයේ බටගොඩ ඉන්ධන පිරවුම්හලේ  ඩීසල්  ලබා ගැනීම සඳහා දින 5ක් රැඳී සිටි ටිපර් රථ රියදුරෙකු එම රථය තුළදී මිය යාමයි.

එලෙස මියගොස් ඇත්තේ සංඝරත්න මාවත, අහංගම  ප්‍රදේශයේ පදිංචිව සිටී 63 හැවිරිදි වීරප්පුලි සුනිල් නැමැති  පුද්ගලයෙක්.

මේ අතර ගොඩගම නගරයේ ඉන්ධන පෝලිමක සිටි තරුණයකු වෙනත් ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන ලැබී ඇතැයි බවට ලැබුණු තොරතුරකට එහි යන අවස්ථාවේ දී අනතුරක් සිදුවී තිබෙනවා.

එහිදී තරුණයා ගමන් ගත් යතුරු පැදිය එකවරම මාර්ගය ඇද වැටී ඇති අතර පසුව ගෑස් පටවාගෙන පැමිණි ලොරි රථයකට හසු වීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අවුරුදු විසිහතක් වයස මීගොඩ දාම්පෙ කුකුල වත්ත ප්‍රදේශයේ පදිංචි ලහිරු හෂාන් රණසිංහ යන අය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර පානදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලේ දිනක් සිට පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු පසුගිය (16) අලුයම හදිසියේ මිය ගියා.

එලෙස මිය ගියේ ඇත්තේ පානදුර, හිරණ, විසල් උයන ප්‍රදේශයේ පදිංචිව සිටී මුතු තන්ත්‍රිගේ සුගත් ප්‍රනාන්දු නමැති 53 හැවිරිදි තිදරු පියෙක්.

මෙම ඉන්ධන අර්බුධය හේතුවෙන් මේ වන විට ජිවිත 14ක් අහිමි වී අවසන්.