hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 25, පෙ.ව. 10:07



කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ ඉන්ධන මිල ඊයේ (24) අලුයම 3.00 සිට ඉහළ නැංවීමට රජය තීරණය කොට තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 420ක් ලෙසයි.

ඔක්ටේන් 95 වර්ගය පෙට්රල් ලීටරයක මිල රුපියල් 77කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 450ක්.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400ක් වන අතර එහි මිල වැඩි වීම රුපියල් 111ක්.

එසේම ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 116කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 445ක් ලෙස දැක්වෙනවා.

මීට සමගාමීව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් එම ඉන්ධනවලද මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මිලට සමාන වන ලෙස වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉන්ධන මිල වැඩි වන ආරංචිය පැතිර යෑමෙන් පසු වැඩි ලාභ ඉපයීමේ අපේක්ෂාවෙන් ඉන්ධන සැපයීම හිටිහැටියේ ඊයේ රාත්‍රියේ අත්හිටවූ අඹතලේ පිහිටි ඉන්ධන පිරවුම්හලට නැවත පැරණි මිලටම එම ඉන්ධන තොග අලෙවි කරන ලෙස බලශක්ති හා විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා නියෝග කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යන බවට තොරතුරු ලැබීමත් සමඟ මෙම ඉන්ධනහල් කල් වේලා ඇතිව වසා දැමීමට එහි කළමනාකරු කටයුතු කර තිබෙනවා.

ඒ වන විටත් ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව උදෑසන සිට පැය ගණනාවක් වාහන පෝලිම්වල සිට ඇති අතර ඔවුන්ගේ විරෝධය ද නොතකා ඉන්ධන හලේ කළමනාකරු විසින් ඉන්ධනහල වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කොට ඇති අතර ඒ අනුව තෙල් සංස්ථා නිලධාරීන්ගේ අධීක්ෂණය මත ඉන්ධන පැරණි මිලට අලෙවි කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මට්ටමෙන් විමර්ශනයක් ද ආරම්භ කොට තිබෙනවා.

එසේ ඉන්ධන මිල වැඩි වන රාවයට හදිසියේම වසා දැමූ ඉන්ධනහල් පිළිබඳ තොරතුරු සොයා බලන බවද බලශක්ති අමාත්‍යංශය අවධාරණය කරනවා.

මේ අතර ඉන්ධන ලීටර් 50,000 ආසන්න ප්‍රමාණයක් සඟවාගෙන සිට නව මිළට අලෙවි කිරීමට තැත්කළ මුල්ලේරියාව ගල්වාන හංදිය ඉන්ධන පිරවුම් හලක්, ඛණිජ තෙල් නීතිගගත සංස්ථාව හා මුල්ලේරියාව පොලිසිය එක්ව ඊයේ (24) වටලා එහි තිබු සියලු ඉන්ධන තොග ජනතාව වෙත පැරණි මිළටම අලෙවි කරන ලෙසට නියොග කළ බව මුල්ලේරියාව පොලිසිය පවසනවා.

මෙම ඉන්ධන හලට පෙරේදා (23) රාත්‍රියේ බවුසර් 3 න් ඉන්ධන ලබාගෙන ඇති බවත්, ඉන්ධන හලේ සේවකයින් රාත්‍රි 9.00 ට පමණ එම සියලු ඉන්ධන සඟවාගෙන සිට ඉන්ධන අවසන් බවට දැනුම් දී , පසුදින එනම් ඊයේ පෙරවරුවේ සිට නව මිළට එම ඉන්ධන ලබා දීමට ක්‍රියාකර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ලද මහජන පැමිණිලි මත ඛණිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් සහ මුල්ලේරියාව පොලිසියේ එක්ව ඊයේ එම ඉන්ධන හල වටලා එහි සඟවාගෙන සිටි ඉන්ධන තොගය සොයාගෙන ගත් බව එම ආරංචි මාර්ග පවසයි.

නිලධාරීන් ඊයේ පෙරවරුවේ පැය කිහිපයක් එම ඉන්ධන හලට මුද්‍ර තබා එහි ඇති ඉන්ධන තොග පරීක්ෂා කිරීමේ දී එහි සුපිරි ඩීසල් ලීටර් 11,131 ක්, ඔටෝ ඩීසල් ලීටර් 13,181 ක ප්‍රමාණයක් ,ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 11,534, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටර් 13,188 ක්, සගවාගෙන සිටියදී සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම ඉන්ධනහල් හිමියා මෙම ඉන්ධන තොගය සගවාගෙන සිට නව මිළට අලෙවි කර රුපියල් ලක්ෂ 46 ක් ලාභයක් ලබා ගැනීමට උත්සහ ගෙන තිබු බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම ඉන්ධන ගොලය අවසන් වනතෙක්ම පැරණි මිළටම එම ඉන්ධන අලෙවි කරන ලෙසට ලැබුණු නියෝගය අනුව ඉන්ධනහල් හිමියන් කටයුතු කර තිබු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එවන් පසුබිමක සමහර ඉන්ධන පිරවුම් හල් වල ඔවුන් සතු සංචිත පැරණි මිලටම අලෙවි කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම සමහර ඉන්ධන පිරවුම් හල්වල වාහන සඳහා සිමා රහිතව උපරිම ඉන්ධන ලබා දීම සිදු කරනු ලබනවා.

එමෙන්ම හෙම්මාතගම ඉන්ධන පිරවුම්හලකින් හෙම්මාතගම පොලීසිය විසින් අවස්ථා තුනකදී කෑන් වලට ඉන්ධන රැගෙන යාම හේතුවෙන් ජනතාව ඊට විරෝධය පළ කළා.

මේ අතර පිරවුම්හල් සේවකයන් බිය වද්දා පාරිභෝගිකයන් ඉන්ධන ලබාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ‌ඊයේ (24) වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 40ක් වසා දමා තිබෙනවා.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසුවේ මෙම පිරවුම්හල්වලට ඇණවුම් කළ ඉන්ධන තොග සියල්ලම නැවත අවලංගු කර ඇති බවයි.