hit counter

2025 නොවැම්‍බර් මස 03 වන සඳුදා

2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:23



පාතාල කණ්ඩායමක් තමන් වහන්සේ ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින බවට බුද්ධි අංශ මගින් අනතුරු අඟවා ඇති බැවින්, තම ආරක්ෂාව සඳහා වහාම ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ලබා දෙන ලෙස ඉල්ලා, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

තමන් වහන්සේ වැඩ වසන රාජගිරියේ විහාරස්ථානයට පැමිණි බුද්ධි අංශ නිලධාරීන් පවා මෙම මරණීය තර්ජනය පිළිබඳව දැනුවත් කළ බව උන්වහන්සේ සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.

“දීර්ඝ කාලයක් තිස්සේ මා විසින් ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව සිදුකළ හෙළිදරව් කිරීම් සහ එම අන්තවාදයෙන් පීඩාවට පත් පාරම්පරික මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටීම මෙම තර්ජනවලට හේතු වී තිබේ,” යැයි ඥානසාර හිමියන් එම ලිපියේ සඳහන් කරයි.

මීට සති කිහිපයකට පෙර, නැගෙනහිර පළාතේ එරාවුර් ප්‍රදේශයේදී, “කාසිම් නමැති තරුණයා සහ ඥානසාර තෙර යන දෙදෙනාම ෂරියා නීතියට අනුව ගල් ගසා මරා දැමිය යුතු” බවට සඳහන් අත්පත්‍රිකා බෙදා හැර ඇති බවත්, ‘ලිබියා ගඩාෆි’ නැමැති කණ්ඩායමක් වට්ස්ඇප් හරහා ද මෙම පණිවිඩය ප්‍රචාරය කරමින් සිටින බවත් උන්වහන්සේ පෙන්වා දී තිබේ.

“2013 වසරේ සිට ඉස්ලාම් අන්තවාදීන් සිදුකිරීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට මා ඇතුළු සංවිධානය සුවිසල් කැපකිරීමක් කළා. අද වන විට මා අත්‍යන්ත අන්තරායකර අවදානමක සිටිනවා. මීට පෙර ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව මා මගේ කැමැත්තෙන්ම ඉවත් කර ගත්තද, වත්මන් තත්ත්වය හමුවේ සුදුසු ආරක්ෂාවක් අත්‍යවශ්‍යයි,” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: