hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 12, පෙ.ව. 9:48



මසාන් උපවාස සමය අදින් ආරම්භ වන බව දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින්, කොළඹ මහ පල්ලිය මේ බව සඳහන් කර ඇත.

රාමසාන් යනු කුමක් ද..?

රාමසාන් මාසය පරිත්‍යාග කිරීමේ මාසය ලෙසයි මුස්ලිම් බැතිමතුන් හඳුන්වනු ලබන්නේ.

මෙම මාසයේ දී උපවාසයේ නිරත වීම අල්ලාහ් දෙවියන් විසින් ඔවුන්ට අනිවාර්ය කරන ලද සිවුවැනි වගකීම වනවා.

3“විශ්වාසවන්තයනි ! ඔබට පෙර වූ සමාජයන් වෙත අනිවාර්ය කළ පරිදි ඔබට ද උපවාස ශීලය රැකීම අනිවාර්ය කර තිබේ. (එහෙයින්) ඔබට පවිත්‍ර වීමට අවස්ථාව තිබේ.” යනුවෙන් ශුද්ධ වූ කුර්ආනයේ සඳහන්.

සමාව දීමට, ඉවසීම ප්‍රගුණ කිරීමට හා වෙනත් කාරුණික ක්‍රියාකාරකම්වලට වෙන්වූ මාසය ලෙස ද රමලාන් මාසය සැළකෙන බවයි, එම බැතිමතුන් ප්‍රකාශ කරන්නේ.

මොකද්ද මේ රාමසාන් උපවාසය කියල කියන්නෙ?

උපවාස දිනවල දී අලුයම 4.30 පමණ කාලයේ සිට සවස 6.30 පමණ වන පැය 14ක කාලයක් පුරා නිරාහාරව ගත කළ යුතු වනවා.

මෙම ශීලයේ අරමුණු රැසක් පැවතීමද විශේෂත්වයක්.

අනිකුත් මාසවල මෙන්ම රාමසාන් උපවාස සමය තුළ ද සිය දෛනික කටයුතු සිදු කරනු ලබයි.

එම අතරතුර කාලයේ දී ආගමික කටයුතුවලට ද මුල් තැන දී කටයුතු කළ යුතු බවයි ආගමේ සදහන් වන්නේ.

ආගමික ප්‍රතිපත්තියට අනුව ජීවිතය හැඩගස්වන ඉස්ලාමය රාමසාන් මාසයේ දී මිනිසාට කුසගින්නේ මහිමයත්, සිත පාලනය කර ගනිමින් දෛනික කටයුතුවල යෙදීමටත්, විඩාබර ශරීරයේ දුක් කරදර උපේක්‍ෂාවෙන් යුතුව විඳ දරා ගැනීමටත් උගන්වනු ලබන බවයි සඳහන් වන්නේ.

තෘෂ්ණාව මර්දනය කර චිත්ත පාරිශුද්ධත්වයෙන් යුතුව අසරණයන්ට උදව් උපකාර කරන ලෙසයි ඉස්ලාමයේ දක්වා ඇත්තේ.

මුස්ලිම්වරුන්ගේ උපවාසය රැකීම යනු නිරාහාරව සිටීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.

මේ සමයේ දී ආදරය සමඟ ධාර්මික චින්තනය ද මුසු විය යුතුයි.

සෙසු මාසවලදීත් දාන ධර්ම කටයුතු ඉටු කරන්නට ඉස්ලාමයේ පවසා තිබුණ ද රාමසාන් මාසයේ දී මෙය වැඩි වශයෙන් සිදු කරනු ලබයි.

“ඔබ ඉටුකරන දාන ධර්මයන් හෙළිදරව් කර දීම මැනවි. එහෙත් ඔබ ඉටු කරන ධර්ම කාර්යයන් දුගීන්ට දීම ඔබට ඉතා කුසල් සහිතය.

තවද එයින් ඔබගේ පව්වලින් කොටසක් මැකී යන්නේය” අල් කුර්ආනයේ මෙලෙස සඳහන් කර ඇත.

උපවාසය රැක ගනිමින් ම ධාර්මික පුණ්‍ය කටයුතුවල නිතරවිය යුතු බවත්, ඒ අනුව ජීවත්විය යුතු බවත් ඉස්ලාමයේ එසේ පැහැදිලි කර තිබීමත් විශේෂත්වයක් වනවා.

“බොරු කීමත්, එසේ හැසිරීමත් අත් නොහරින්නේ නම් ඔහු නොකා නොබී උපවාසය රැකීමෙන් පලක් නැත. අල්ලාහ් ඒ උපවාසය පිළි නොගනී.

මෙවැනි උපවාසයෙන් අල්ලාහ් ඈත් වන්නේය” යැයි මුහම්මද් නබිතුමාණෝ ප්‍රකාශ කර ඇති බවයි.

ඉස්ලාම් බැතිමතුන් ප්‍රකාශ කරන්නේ, උපවාස ශීලයෙන් මිදී සිටිය හැකි අවස්ථා උපවාසය අනිවාර්ය කර තිබුණ ද උපවාස ශීලයෙන් මිදී සිටිය හැකි අවස්ථා කීපයක් ද ඉස්ලාමයේ සඳහන් කර තිබෙනවා.

ගර්භණී මවුවරු, කිරිදෙන මවුවරු, මාසික ඔසප් ක්‍රියාවලියට භාජනය වී සිටින කාන්තාවන්, වයස්ගතව ඉතා දුර්වලව සිටින්නන්, මානසික රෝගවලින් පෙළෙන්නන්, කුඩා දරුවන් සහ දීර්ඝ සංචාරයක යෙදී සිටින්නන්ට මේ උපවාස ශීලය අනිවාර්ය වන්නේ නැහැ.

මෙවැනි අය විසින් තමන්ට උපවාසයේ යෙදීමට නොහැකි වූ සෑම දිනයක් වෙනුවෙන්ම උපවාසයෙන් පසු සහල් වැනි ධාන්‍ය සේරු භාගයකින් පමණ අසරණ හෝ දිළිඳු අයට පරිත්‍යාග කළ යුතුයි. උපවාසයේ යෙදීමෙන් මිනිසා කුසගින්න ඉවසා ගනියි.

පිපාසය ඉවසා ගනියි. ආශාව හා හැගීම් ඉවසා ගනියි. සත්‍යයම කතා කිරීමටත්, නිසි මගෙහි ගමන් කිරීමටත් ඉස්ලාමයට අනුකූලව ජීවත්වීමටත් පන්නරය ලබා ගන්නා බවයි ආගමේ සඳහන් වන්නේ.

රාමසාන් උපවාසය අවසන් කිරීමෙන් පසු රාත්‍රී කාලයේ දී උපවාස සමයට පමණක් විශේෂිත වූ තරාවිහ් නැමැති වන්දනය ද මුස්ලිම් ප්‍රජාව වින් ඉටු කරනු ලබයි.

මෙම මාසය තුළ ශුද්ධ වූ අල් කුරානය අනෙකුත් මාසවලට සාපේක්ෂව වැඩියෙන් පාරායනය කිරීම ද සිදු කිරීම ද විශේෂත්වයක්.

රාමසාන් උපවාස සමයේ ඉටුකල යුතු තුනවන වගකිම සකාත් යන පදය පාරිශුද්ධත්වය, අභිවෘද්ධිය, වර්ධනය යන අරුත් ගෙන දෙනවා.

‘සකාත්’ දීමෙන් එසේ දෙන්නාගේ ආර්ථීකය දියුණු වන බවත් ධනය ආරක්ෂා වී ඔහුගේ සිත පිරිසිදු වී පාරාර්ථකාමිත්වය, අනුන්ගේ සුව දුක් සොයා බැ8ලීම යනා දී යහගුණාංග වර්ධනය වන බවයි ඉස්ලාමය පවසන්නේ.

තවද ආත්මාර්ථකාමිත්වය, අහංකාරය, මසුරුකම යනාදී අයහපත් ගුණාංගයන්ගෙන් මිදෙන බවද ඉස්ලාමයේ දැක්වෙනවා.

මුස්ලිම්වරයකු තමා සතු දේපළ, ධනය යනාදියෙන් නියමිත වූ කොටස අල්කුර්ආනය පවසා ඇති පිරිස් අටකට පමණක් දන් දීම ඉස්ලාමීය භාවිතයේ ‘සකාත්’ යැයි හඳුන්වනු ලබනවා.

මෙය ඉස්ලාමයේ මූලික නැමදුම් ක්‍රියාවන්ගෙන් එකක් වනවා. ඉස්ලාමීය ආර්ථීක ක්‍රියාකාරකම්වල වැදගත් අංගයක් ලෙස ද දැක්විය හැකියි.

සකාතය නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් ඉන් ඇති වන අයහපත් ප්‍රතිවිපාක පිළිබඳව ද අල්කුර්ආන් හා අල් හදීස්හි අවවාද කර තිබෙනවා.

සකාතයේ පරමාර්ථයන් ලෙස ජනයා අතර දුගී භාවය නැති කර ආර්ථික විෂමතාවය අඩු කිරීම, ධනවතුන් තමන්ගේ ධනය සමාජ සේවය සඳහා යෙදීමේ පුහුණුව ලබාදීම සහිත දියුණු කිරීම, සිඟමනේ යෙදිම නතර කිරිම, ධනවතුන් අතර ලෝභකම නැති කර පරිත්‍යාගශීලී භාවය ඇති කිරීම යන කරුණු සඳහන්.

සකාත් අනිවාර්ය වීමට අදාළ කොන්දේසි ලෙස මුස්ලිම්වරයකු වීම, නිදහස් මිනිසෙකු වීම, වස්තුව තමා සතු වීම, වස්තුව නියම ප්‍රමාණයෙන් තිබිය යුතු වීම, වර්ෂයක් සම්පූර්ණ වී තිබීම, වර්ධනය වන වස්තූන් වීම, මූලික අවශ්‍යතාවලට අමතරව වැඩිපුර තිබීම යන කරුණු ඇතුළත්.

සකාත් දීම අනිවාර්ය වන වස්තූන් ලෙස රත්තරන්, රිදී, මුදල්, ධාන්‍ය වර්ග (තිරිඟු, වී යනාදිය), පශු කාණ්ඩයට අයත් සතුන් (එළු, හරක්, ඔටු) යන සතුන්, පලතුරු වර්ග (රටඉඳි, මිදි), වෙළෙඳ භාණ්ඩ ඇතුළත් වනවා.

සකාත් ලැබීමට සුදුසු අය කවුරු ද යන්න අල්කුර්ආනය පැහැදිලිව දක්වා තිබෙනවා. (සකාත් නම්) දන් දීම, ආදායමක් නොමැත්තන්, දුගීන්, සකාත් එකතු කරන අය, ඉස්ලාමය වෙනුවෙන් සිත් පැහැදී පැමිණි අය, වහල්භාවයෙන් නිදහස ලැබුවන්, ණය බරින් පීඩාවට පත්ව සිටින්නන් (ඉස්ලාමය අනුමත වියදම් සඳහා), අල්ලාහ්ගේ මාර්ගයෙහි නියැලී සිටින්නන්, ආගම අනුමත කළ ගමන් බිමන්වල යෙදී සිටින්නන් යන කාණ්ඩ අටක පිරිස් සුදුසුකම් ලබයි.

ශුද්ධකාරක ධන බද්ද රාමසාන් මාසයේ ධනවතුන් විසින් දුප්පතුන්ට ගෙවිම ද අනිවාර්යයි.

“සකාත්” යනු තමා හා තමන්ගෙන් යැපෙන්නන්ට සරිලන තරමේ වත්කමක් ඇති කෙනෙකු ඔහුට අතිරේකව ඇති වත්කම එයට අදාළ ප්‍රමාණය පූර්ණ වූ විට යම් නිශ්චිත දුප්පත් පාර්ශවයන්ට ලබාදීම අදහසයි.

සකාතය අනිවාර්ය වන ද්‍රව්‍යයන් ලෙස රන්, රිදි, වෙළඳ භණ්ඩ, සතුන්, කෘෂි බෝග, මිල මුදල් යන දේවල් අඩංගු වේ.

ඒවාට සකාත් ගෙවිම අනිවාර්ය බව සඳහන්. උදාහරණයක් ලෙස මූල්‍යමය වටිනාකමක් ඇති ද්‍රව්‍ය, භාණ්ඩ හෝ සේවාවන් සඳහා සකාත් ගණනය කිරීමේ දී එය වර්තමාන මුදලේ වටිනාකම අනුව 2.5% ක් ගෙවීම සිදු කළ යුතුයි.

එසේම එය ඉහත සඳහන් කල රන් රිදි කෘෂි යන ද්‍රව්‍යයන් හා ඇති කරනු ලබන සතුන් හට ප්‍රමාණයන් පුර්ණ වු විට “සකාත්” ගෙවන ප්‍රමාණය එකින් එකෙට වෙනස් වනවා.

රාමසාන් උපවාස සමයේ ආහාර රටාව ශ්‍රී ලංකාවේ රාමසාන් උපවාස සමය යනු මුස්ලිම්වරුන්ට සතුට ගෙන දෙන මාසයක් ලෙස සැලකෙනවා.

වසරක් පුරා මහන්සි වී ඉපැයු සිය ධනයෙන් සුළු ප්‍රතිශතයක් දුප්පත් ජනතාවට බෙදාදීම සහ දුප්පත් පොහොසත් භේදයකින් තොරව මුස්ලිම් නිවෙස්වල ආහාර සංචිත වැඩිවන මාසයක් වනවා.

පැය 14ක කාලයක් නිරාහාරව සිටීමෙන් පසු ඉර බැස යන මොහොතේ රාමසාන් උපවාස සමය අවසන් කිරීමට මුස්ලිම් ප්‍රජාව කටයුතු කරනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාමසාන් උපවාසය අවසන් කරන මොහොතේ දකුණු පළාතේ මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආහාරයක් ලෙස තිරිඟු, කැකුළු හාල් ඇතුළු කුළු බඩු යොදා සකස් කරනු ලබන විශේෂ කැඳ වර්ගයක් මුස්ලිම් පල්ලි මගින් නිවෙස්වලට බෙදා දෙනු ලබයි.

මෙම විශේෂ කැඳ වර්ගය ශ්‍රී ලංකාවේ පළාතෙන් පළාතට වෙනස් වන අතර බස්නාහිර සහ නැගෙනහිර පළාතේ ඒ සඳහා එළවළු එකතු කර වෙනත් ආකාරයකින් සාදා බෙදා දෙන බව සඳහන්.

මින් පිළිබිඹු වන්නේ එකම ආගමික ජන කොටසක වත් පිළිවෙතක් වුවත් පළාත් අනුව විවිධ ආහාර සංස්කෘතීන්වල වෙනස්කමක් දක්නට ලැබෙන බවයි.

මෙම කැඳ වර්ගය සමග රටඉඳි සහ සමෝසා, පැටිස් රෝල්ස් වැනි කෙටි ආහාර සමඟ පලතුරු වලින් සකස් කරන ලද බීම වර්ග ද උපවාසය අවසන් කිරීම සඳහා යොදා ගනු ලබනවා.

ඇතැම් අය බිත්තර, බතල, මඤ්ඤොක්කා ඇතුළු අල වර්ග තම්බා රාමසාන් උපවාස සමය අවසන් කරන මොහොත සඳහා එක්කර ගන්නා බවයි වාර්තා වන්නේ.

මෙම ආහාර වට්ටෝරු ද ශ්‍රී ලංකාවේ පළාතෙන් පළාතට විවිධත්වයක් උසුලනවා.

රාමසාන් උපවාස සමය අවසන් කර රාමසාන් උත්සව දිනය සැමරීමේදී මෙරට මුස්ලිම් ප්‍රජාව යොදාගන්නා ආහාර පාන මෙරට සහෝදර අන්‍ය ආගමික ප්‍රජාව අතර ද ප්‍රසිද්ධියි.

විශේෂයෙන්ම වටලප්පන් සහ බිරියානි ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර මුස්ලිම් සම්ප්‍රදායට අනුව සාදන රස කැවිලි වර්ගවලට ද හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්.

ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල මුස්ලිම් ප්‍රජාව අන්‍ය ආගමික ප්‍රජාවන් සමඟ ජීවත් වීම හේතුවෙන් එහි ද උප සංස්කෘතියක් ද බිහි ව තිබෙනවා.

රාමසාන් උත්සව දවසේ මුස්ලිම් නිවෙස් වල පිළියෙල වන ආහාර වර්ග අසල්වාසි සහෝදර ප්‍රජාව සමඟ බෙදා හදා ගැනීම, මිතුරන් හිතවතුන් සමග බෙදා හදා ගැනීම රමසාන් සමයේදි දක්නට ලැබෙන විශේෂිත වූ සංස්කෘතික ලක්ෂණයක් ලෙස සැලකිය හැකියි.

රාමසාන් උපවාසයේ අවසානය ඊද්-අල්-ෆිතර් යනු මුස්ලිම්වරුන් විසින් උතුම් වූ රාමසාන් මාසයේ උපවාස ශීලය අවසන් කරමින් ෂව්වාල් මාසයේ පලමු වන දිනයේ කරන්නා වු සැමරුමයි.

මෙම දිනයේ අළුයම නැමදුමට පසුව දිය නෑමෙන් පසු අළුත් ඇඳුම්වලින් සැරසී ඊද් නැමදුම සඳහා මුස්ලිම්වරු ගමේ මස්ජිදය හෝ එළිමහන් ස්ථානයක් කරා පිටත් ව යනවා.

එහිදී සාමුහිකව ඊද් නැමදුමෙහි යෙදෙන මුස්ලිම්වරුන් එය අවසන්වු පසු නිවසට පැමිණ ඥාති හිත මිතුරන් සමග සතුට බෙදා හදා ගනිමින් ඊද් සැමරුමහි සතුට සමරන බව සඳහන්.

රාමසාන් උපවාසයේ සිදුවූ අඩුපාඩු ඉවත්කර සම්පූර්ණ පවිත්‍ර කර ගැනීමට “සකතුල් ෆිත්රා” නම් දුප්පත් අසල්වැසියන්ට ධාන්‍ය ලබාදිම හැඳින්විය හැකියි.

රාමසාන් මස ආරම්භයේදීම ෆිත්රා දිය හැකියි. නමුත් ෂවිවාල් මස පළමු දින ඊදුල් ෆිත්ර් සලාතය සඳහා මස්ජිදයට යාමට පෙර එය දීම විශේෂිතයි.

ෆිත්රා දීම අප රටේ නම් සහල්වලින් සිදුකළ හැකියි. පවුලේ සියලු දෙනා වෙනුවෙන් සහ මෙහෙකාර, තම පාලනයට වූ සියලු දෙනා වෙනුවෙන් එක් අයෙකුට පුරවා සහල් සේරු 2ක් හෝ කපා සේරු දෙකහමාරක් දිය යුතු වනවා.

එය ඔබේ ඥාතීන්, අසල්වැසියන් හෝ දිළිඳු අය වෙත පරිත්‍යාග කිරීම උතුම් බව සඳහන්.

පරිත්‍යාග කිරීමේ මාසයේ නිමාව සටහන් වන ඊදුල් ෆිත්රා දිනය අසල්වාසින් හා එක්ව සහයෝගයෙන් හා සහජීවනයෙන් යුතුව සැමරීම ඉතා වැදගත් බව ඉස්ලාමයේ දැක්වෙන්නේ.

මුස්ලිම් රාජ්‍ය සේවකයින්ට චක්‍රලේඛයක්..

රාමසාන් සමයේ දී ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි මුස්ලිම් රාජ්‍ය සේවකයින්ගේ වැඩමුර සකස් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් තිබුණා. ඒ අනුව එය අද සිට ක්‍රියාත්මක වනු ඇති.

නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කර දිය යුතු බව ද අදාළ චක්‍රලේඛයේ සඳහන්.

රාමසාන් අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් නිලධාරීන් සඳහා උත්සව අත්තිකාරම් ලබාදීමට ද කටයුතු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: