hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූලි 04, පෙ.ව. 11:04



බරපතළ වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

එම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බලනු ලැබුවා.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවයි.

එමෙන්ම එම විරෝධතා ලිඛිතව ගොනු කිරීම සඳහා කල්ලබා දෙන ලෙසත් එහිදී ඉල්ලා ඇති බව සඳහන්.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙසට නියෝග කර තිබෙනවා.

2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකුව කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට පසුගිය 28 වැනිදා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව වරදකරු කරමින් මෙම තීන්දුව ලබාදුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්.

ඒ, මෙම පුද්ගල පැහැර ගැනීම සම්බන්ධයෙන් පැවති නඩුවට අදාළ චෝදනා 18කට ඇයව වරදකරු කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් එම සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: