hit counter

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා

2025 මාර්තු 16, පෙ.ව. 12:13



පාසල් උත්සව සඳහා දේශපාලකයන් සම්බන්ධ කර නොගැනීමට ආණ්ඩුව ගත් හොඳ තීන්දුව ආපස්සට හැරවීම කනගාටුවට කරුණක් යැයි ලංකා ගුරු සංගමය පවසයි.

යහපත් අධ්‍යාපන සංස්කෘතියක් වෙනුවෙන් අත්‍යවශ්‍ය පියවරක් වූ එය වෙනස් කළේ කුමන කරුණක් නිසාදැයි තේරුම් ගත නොහැකි යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවැසීය.

පාසල් කටයුතු දේශපාලකයන් නැතිව කරගත නොහැකි මට්ටමට පසුගිය රාජ්‍ය කාලයේදී දූෂිත සංස්කෘතියක් නිර්මාණය වී තිබුණේ යැයි කී හෙතෙම අගමැතිනියගේ අලුත්ම ප්‍රතිපත්තිය ඊට උඩගෙඩි දීමක් යැයි චෝදනා කළේය.

පාසල් උත්සව කටයුතු සඳහා දේශපාලකයන් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙසට අධ්‍යාපන ඇමැති හැටියට උපදෙස් දෙනු ලැබුවේද අගමැතිනිය විසින්ම යැයිද පාසල් පද්ධතිය දේශපාලනය සඳහා අවභාවිත නොකිරීම සියලු දෙනාගේ වගකීමක් බවද කියමින් ඇය ගත් මුල් ස්ථාවරයෙන් පල්ලම් බැසීම පිළිගත නොහැකි යැයි ද ස්ටාලින් මහතා කීවේය.

දේශපාලකයන් උත්සවවලට ගෙන්වා දරුවන් ලවා වැන්දවීමේ වහල් සංස්කෘතියක් එදා නිර්මාණය වී තිබුණේ යැයිද අද වන විට ආණ්ඩුවේම ඇතැම් දේශපාලකයන් එම සංස්කෘතියේ කොටස්කරුවන් වී ඇතැයිද ඔහු චෝදනා කළේය.

පාසල් උත්සව කටයුතු සඳහා දේශපාලකයන් සහභාගි කරගැනීමෙන් වළකින ලෙස අගමැතිනිය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් බවට නිවේදනයක් නිකුත් වුණේ 2024 සැප්තැම්බර් 26 වැනිදාය.

‘දේශපාලකයන් පාසල් උත්සවවලට ගෙන්වීම වහාම නතර කරන්න ‘ යන තේමාවෙන් සටහන් කර තිබූ එම පණිවුඩය එකල අධ්‍යාපන වේදීන්, ගුරු සංවිධාන ඇතුළු විෂය ප්‍රවීණයන්ගේ නොමඳ පැසසුමට ලක් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: