hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 11, ප.ව. 2:18



කිසිදු ආකාරයෙන් මහා භාණ්ඩාගාරයට බරක් නොවුණු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා මිල්කෝ ආයතනය ඉන්දියාවට විකිණීමට සූදානම් වන්නේ පසුගිය කාලයේ විවිධ ආණ්ඩු විසින් එරටින් ගත් ණය වලට හිලව් කිරීමට යැයි  ජාතික පශු සම්පත් මණ්ලයේ විධායක නිලධාරීන් ගේ සංගමයේ සභාපති, සුරැකීමේ සංවිධානයේ සභාපති සුමේධ නවරත්න බණ්ඩාර මහතා පවසනවා.

පාලකයින්ගේ වංචා දූෂණ හා වැරදි කළමනාකරණය හේතුවෙන් බංකොලොත් වූ රට අද ජනපති ඇතුළු වත්මන් ආණ්ඩුව ගොඩ ගැනීමට උත්සහ කරන්නේ ලාභ ලබන ආයතන විදේශීය රට වලට විකිණීමෙන් බවත් මෙම තීරණ නිසා මෙරට ගොවීන් මහ පාරට ඇද වැටීම වලක්වනු නොහැකි බවත් ඒ මහතා සඳහන් කළා.

ශ්‍රී ලාංකේය පශු හා කෘෂි කර්මාන්තයේ එකම රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය තුළින් වැනසීම පිළිකුලෙන් හෙළා දකිමු මැයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සුරැකීමේ සංවිධානත්වයෙන් මහනුවර යටිනුවර වීදියේ ඩෙවෝන් හෝටලයේ දී අද (11) පැවැති මාධ්‍ය හමුවක දී බණ්ඩාර මහතා මේ බව පැවසුවා.

වර්ෂ 1972 දී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මෙන්ම මිල්කෝ ආයතනය පිහිටුවනු ලැබුවේ මේ රටේ අනාගතය වෙනුවෙන් ගොවි ජනතාව සම්බන්ධයෙන් තීරණ ගන්නා ආයතනයක් ලෙස බවත් පසුගිය වසර 50 තුළ මෙම ආයතන භාණ්ඩාගාරයට බරක් නොවූ බවත් ඔහු සඳහන් කළා.

මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාව ලීටර් මිලියන 700 ක් වුවත් අප ට නිෂ්පාදනය කිරීමට හැකිව තිබෙන්නේ ලීටර් මිලියන 450 ක් බවත් අඩුව පිරවීම සඳහා 2019 දී කිරි පිටි මෙට්‍රික් ටොන් 95000 ක් ආනයනය කළ බවත් පැවසූ බණ්ඩාර මහතා මේ වනවිට මෙට්‍රික් ටොන් 130000 ක් ගෙන්වන බව ද අවධාරණය කළා.

රටේ අවශ්‍යතාවට සරිලන කිරි ප්‍රමාණය නිෂ්පාදනය කිරීමේ දී පවතින අඩුව පිරවීම සඳහා රට ඇතුළට පැමිණෙන ඉන්දීය සමාගම් අවසානවේ කරන්නේ මෙරට කිරි ගොවියා අතට දැන් ලැබෙන මුදල ද අහිමි කිරීම යැයි කියා සිටියා.

රටේ කිරි නිෂ්පාදකයාට කිසිදු බදු සහනයක් නොදෙන ආණ්ඩුව ඉන්දීය සමාගම් වලට අත දිගහැර බදු සහන ලබාදෙනු ඇති බවත් එම බදු සහන දෙන්නේ නම් ලංකාවේ ගොවීන්ටත් ජාතික පශු සම්පත් මණ්ඩලයටත් දියර කිරි ක්ෂේත්‍රය ඉහළට ඔසවා තැබිය හැකි බවත් ඒ මහතා සඳහන් කළා.

ආයතනයට ලැබෙන ආදායමෙන් දියුණුව කරා පියනැගූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මෙන්ම මිල්කෝ ආයතනය මේ වනවිට ගොවි පොළ 32 ක හිමිකාරත්වය සමඟ අක්කර 30.000 ක භූමි ප්‍රමාණයකට  හිමිකම් කියන බවත් පැවසූ ඒ මහතා පාඩු නොබලන මෙම ආයතන  අඩු ලංසුවකට විදේශ රටකට විකිණීමට එරෙහිව සියලු ජනතාව පෙළ ගැසිය යුතුව ඇතැයි ද අවධාරණය කළා.

 ජාතික පශු සම්පත් මණ්ලය සුරැකීමේ සංවිධානයේ ලේකම් නාමල් අමුණුගම මහතා අදහස් දක්වමින් සත්ත්ව නිරෝධායන පනත් වලට අනුකූලව මෙතෙක් රටට සතුන් ආනයනය කළ ක්‍රියාවලිය ඉදිරියේ දී මෙම ආයතන මිල දී ගන්නා විදේශීය සමාගම් වලට අවශ්‍යය පරිදි වෙනස් වන බවත් මේ තුළින් ඉතා භයානක ලෙඩ රෝග රටට ඇතුළු වීමේ අවධානමක් මතුවන බවත් පැවසුවා.

මිල්කෝ ආයතනයේ සමස්ත ලංකා කිරි කර්මාන්ත සේවක සංගමයේ සභාපති ඉලංගරත්න මඩහපොළ මහතා ද මෙහි දී කතා කළා.