hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 03, පෙ.ව. 10:51



යුධ හමුදාව වන වගා කළ වත්තේගම කැබිලිත්ත, කොටියාගල රක්ෂිත ඉඩම් හොරුන් විසින් වනසනු ලබන අතර මෙය විල්පත්තු වන විනාශය මෙන් විසි ගුණයක වන විනාශයක් බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය පවසනවා.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තතමේන්තුව තත්වය මැඩපැවැත්වීමට මොනරාගල දිසාව භාර පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති නමුත් ඔහුද අනවසර ඉඩම් ඇත්තෙකු මෙන් අනවසර වගාකරුවන්ට ඉඩම් ලබාදියයුතු යයි පවසා ඇති බවයි.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයත් වත්තේගම කැබලිත්ත කොටියාගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉතා වටිනා රක්ෂිත වනාන්තර ප්‍රදේශ කාලයක සිට ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ සහායද ඇතිව හොරෙන්ම අල්ලාගෙන නොයෙක් ආකාරයේ වගාවන් සිදු කිරීම මහා පරිමාණ ව්‍යාපාරිකයින් සහ අතලොස්සක් දූෂිත රාජ්‍ය නිලධාරීන් එකතුව කරගෙන යන්නේ වසර කිහිපයක සිට ය. විජිත් විජිතමුණි දසොයිසා ගේ සිට  ශෂීන්ද්‍ර රාජපක්ෂ දක්වා  පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ සහාය ඇතිව කරගෙන යන මෙම මහා ඉඩම් කොල්ලය විල්පත්තුවේ සිදු වූ අක්කර 3000 ක වන විනාසය මෙන් අවම වශයෙන් විසි ගුණයකට වඩා වැඩි ය.

කෙසේ නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස මහා පරිමාණ ව්‍යාපාරිකයින් අක්කර 20 සිට 100 දක්වා වන ඉඩම් අල්ලා ගැනීම ක්‍රමිකව නතරකර අදාල රක්ෂිත සංරක්ෂණය කිරීම සඳහා කටයුතු කරමින් තිබුණි.  එවන් වටපිටාවක ජනාධිපතිතුමා විසින් පත්කළ ආර්ථික කමිටුවේ එවක ප්‍රධානියා වූ බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාව මත, හිටපු වන සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා  වන සී බී රත්නායක සහ එවක ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස් එම් චන්ද්‍රසේන විසින් පිලිවෙලින් නිකුත්කළ 1/2020 සහ 18/2020 චක්‍රලේඛ හරහා ශ්‍රී ලකාවේ වන ආවරණය තුල පැවතී වන ආවරණයෙන් 3% ක් සහ අවම වශයෙක් හෙක්ටයාර ලක්ෂ 500ක ඉඩම් (අක්කර ලක්ෂ 12කට ආසන්නව) රජයේ රක්ෂිත කැලෑ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගන්නා ලද අතර, වත්තේගම කැබලිත්ත කොටියාගල රක්ෂිත ඉඩම්ද මෙම රජයේ කැලෑ ඝනයට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය කළ වනාන්තර වේ. ඉහත චක්‍රලේඛ මගින් මෙම වනාන්තර අනාරක්ෂිත කිරීම තුල, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් දේශපාලන අවශ්‍යතා මත හිතුමතේ ඉඩම් බලපත්‍ර සහ ඔප්පු නිකුත් කිරීම සිදුකළ අතර, බහුතරයක් ව්‍යාපාරිකයින් මෙම වනාන්තර ඉඩම් දිගින් දිගටම ග්‍රහණයට ගමින් තිබුණි.

ඉහත තත්වය යටතේ 3000 කට ආසන්න ගොවියන් හා ව්‍යාපාරිකයින් (දුෂිත රාජ්‍ය නිලධාරීන්ද ඇතුළුව) ලෙස පෙනී සිටින මෙම සංවිධානය වූ ඉඩම් කොල්ලකරුවන්ට බෙදාදීම පිණිස කිසිවක් සොයා නොබලා අක්කර 25,000 ක් රක්ෂිත ප්‍රදේශවලින් ඉවත්කර සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් වෙත පවරා ඇත. රජයේ ඉඩම් ආඥා පණත ප්‍රකාරව රජයේ ඉඩම් අක්කර 2කට වඩා ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවකි. ඒ අනුව ගොවිතැනට ඉඩම් දුප්පත් ගොවියන්ට ලබාදුන්නේ නම්, අවශ්‍ය වන්නේ අක්කර 6000 කට ආසන්න ප්‍රමාණයකි. (ලංකාවේ භුමි ප්‍රමාණයෙන් 63% ක් කෘෂිකාර් මික භුමි වන නමුත් අදවන විට ඉන් පලදායී ලෙස භාවිතා කරන්නේ 40% ක් පමණි).  ඒ අනුව වැඩිපුර අක්කර 19000ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් වෙත පවරා ඇත. එසේ තිබියදී, අදා ඉඩම් බෙදාදීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව අදාළ මැනුම් කටයුතු කරන විට, මෙලෙස අක්කර 50 හා 100 බැගින් ඉඩම් සොරාකා අල්ලාගෙන සිටින ව්‍යාපාරික කණ්ඩායම් අදාළ මැනුම් ක්‍රියාවලිය අඩපණ කිරීමට කටයුතු කර ඇත.

එසේම ඔවුන් තම මුදල් සහ සේවකයින් මෙන්ම ප්‍රදේශයේ ගම්වැසියන් අවුස්සා ඔවුන්ට අක්කර 5ත් 10ත් අතර ඉඩම් ලබාදීමට කටයුතු කරන බව පවසා බලහත්කාරයෙන් වත්තේගම කැබලිත්ත කොටියාගල රක්ෂිත ප්‍රදේශවල ඉඩම් ඇල්ලීමට පොළඹවන ලදී. එසේම මීට ප්‍රදේශයේ භික්ෂුවක් වන කෙසෙල්වත්තේ විමලතිස්ස නම් වන අය සහ පසුගිය මහා මැතිවරණයේදී ප්‍රදේශයෙන් තරඟ කර පරාජයට පත් ඉන්දික විජේබණ්ඩාර අත්තනායක යන අයෙක්ද ඉදිරියට දමාගෙන දිගින් දිගටම අදාල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවීමටත්, රක්ෂිතයට හානි කිරීමත් දිගින් දිගටම නොයෙක් අවස්තාවලදී සිදුකරයි.

 මෙලෙස ඉඩම් ඇල්ලීමට උත්සාහ කළ අවස්ථා කිහිපයකම එය ව්‍යර්ථ කිරීමට පොලීසිය, විශේෂ කාර්‍ය බලකාය සහ වන සංරක්ෂණ දෙපාර්තමන්තුව එක්ව කටයුතු කළ අතර අදාළ සංරක්ෂණ ක්‍රියාවලියට යුධ හමුදාවෙන් විශාල සහයක් ලැබුණි.

එපමණක් නොව, ගුවන් හමුදාව පවා බීජ බෝම්බ ව්‍යාපෘතිය හරහා වන වගා කිරීමට ඉහත ප්‍රදේශයේ ගුවනින් ගොස් බීජ බෝම්බ හෙලීම පවා සිදුකරන ලද අතර අදාළ වන වගාවන්ට පවා හානිකිරීමට මෙම සංවිධානාත්මක ඉඩම් කොල්ලකරුවන් අවස්ථා කීපයකදී කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් නොයෙක් චෝදනා ලැබුවත් වන ජීවී සහ වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එවක විමලවීර දිසානායක මහතා නිදහස් කළ ඉඩම් හැර වෙනත් කිසිඳු රක්ෂිත හෝ යෝජිත් රක්ෂිත ඉඩමක් අනවසර ඉඩම් කොල්ලකරුවන්ට අලාගනීමට ඉඩ නොදුන් අතර ඒවා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන ලදී.

එලෙස ඉතා දැඩි පරිශ්‍රමයකින් ආරක්ෂා කළ වනාන්තර ඉඩම් නැවත වතාවක් ඊයේ සහ අද දිනයේ අදාළ සංවිධානාත්මක ව්‍යාපාරික ඉඩම් කොල්ලකරුවන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කටයුතු කරමින් පවතී. බලෙන්ම සිය ගණනක් ට්‍රැක්ටර් බයික් සහ රථවාහනවලින් රක්ෂිතයට ඇතුළු වී වන වගාව සිදුකරන භූමියත් කැලෑ ඉඩමුත් අල්ලාගැනීමත් භුමිය සකස් කිරීමත් අආරම්හ කර ඇත. අද දිනයේදී අදාළ අනීතික ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ වන සංරක්ෂණ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය වටකොට බලහත්කාරය පෑමට සහ රාජකාරියට බාධාකිරීමට මෙම කොල්ලකරුවන් කටයුතු කරමින් සිටී.

වන සංරක්ෂණ දෙපාර්තතමේන්තුව තත්වය මැඩපැවැත්වීමට මොනරාගල දිසාව භාර පොලිස්පතිවරයාගෙන් ඉලා ඇති නමුත් ඔහුද අනවසර ඉඩම් ඇත්තෙකු මෙන් අනවසර වගාකරුවන්ට ඉඩම් ලබාදියයුතු යයි පවසා ඇත.

අප විසින් මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව වර්තමාන වන සංරක්ෂණ අමාත්‍යවරයා වන මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ අදාළ දිසාව භාර පොලිස්පතිවරයා තමා මේ පිළිබඳව විමසා සිටි අවස්තාවේදීද වනාන්තර රකිනවා වෙනුවට ඉඩම් කොල්ලකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවක් ගම්‍ය වූ බවයි. අපට ලැබී ඇති තොරතුරු අනුව පොලිස්පතිවරයා පවා ලිඛිතව අදාළ අනවසර ඉඩම් කොල්ලය වලකාලීමට කටයුතු කරන ලෙස දන්වා ඇතත්, මෙම දිසවභාර පොලිස්පතිවරයා අදාල නියෝගය සහ රාජ්‍ය නිලධාරීන්ට සහයෝගය දෙනවා වෙනුවට තම නිරීක්‍ෂන දන්වා යැවීමක් යයි පවසා අදාල ඉඩම් කොල්ලකරුවන් සාධාරණීකරණය කිරීමට කටටයුතු කර ඇතැයි පැවසේ. ඒ අනුව බොහෝ පාර්ශව සැක කරන්නේ අදාළ දිසා බාර පොලිස්පතිවරයා එක්කෝ අදාළ රක්ෂිත ඉඩමකට කෙළ හලන බවක් හෝ කාගේ හෝ අවශ්‍යතාවකට පරිසර සංරක්ෂණයට අදාළ ආයතනවලට තම සහය නොදී හිතුමතේ කටයුතු කරන බවයි. ඒ අනුව අදාළ රක්ෂිත සංරක්ෂණය සහ ආරක්ෂා කිරීම අදාළ DIG වරයාගේ සහය නොලැබීම මත අපහසු වී ඇති බවයි.

විල්පත්තු වන විනාශය මෙන් විසි ගුණයකටත් වඩා විශාල මෙම වන විනාශය නැවතීමට වර්තමාන විෂයභාර අමාත්‍යවරයාගේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ වගකීම වේ. ලෝකයේ බොහෝ රටවල්වලට සාපේක්ෂව ලංකාවේ ඇත්තේ ඉතා අවම වන ගහනයකි. එය බොහෝ දියුණු රටවල් හා සංසන්ධනය කිරීමේදී පවා අඩකටත් අඩු අගයකි. ලෝක පරිසර දිනය එළඹීමට ඇත්තේ තවත් දින 5 ක් පමණි. එසේ තිබියදේ ලංකාවේ විශාලතම වනාන්තර ඉඩම් කොල්ලය හමුවේ නිහඬව සිටින්නේනම් ශ්‍රී ලංකාව ආර් තික අර්බුධයට එහා ගිය නීතිය බිඳවැටී රටේ වටිනා භුමි සම්පත් සහ පරිසර පද්ධති මංකොල්ලකරුවන් අතට පත්ව පාරිසරික අර්බුධයක් සහ සමාජීය අරබුධයක්ද ගොඩනැගෙනු ඇත.

ජයන්ත විජේසිංහ

කැඳවුම්කරු

වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය