hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 16, පෙ.ව. 2:23



ඓතිහාසික කුරුන්දි විහාරයට අයත් ඉඩම රජයේ ඉඩමක් බව ජනාධිපති ලේකම් විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එම ඉඩම කිසිවකුට බෙදා දීමට තීරණයක් ගෙන නොමැති බවයි එයින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

පසුගිය ජූනි 08 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු දැක්වීමක් සිදුකර තිබුණා.

එම ලිපිය මගින් කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් මහජනතාවට පවරා දීම සඳහා නියම කර ඇති බව මාධ්‍ය මඟින් දැනගත් බවත්, එම විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් විසිරී ඇති බවත්, එබැවින් මෙම ඉඩම් බෙදා දීම නුසුදුසු බවත් ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් දන්වා සිටියා.

දැනට රජයෙන් ඉඩම් බෙදා දුන්න ද, නුදුන්න ද වැරදි ලෙස බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති බව දක්නට ඇති බවත්, එබැවින් මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් උන්වහන්සේ අදාළ ලිපිය මගින් වැඩිදුරටත් කරුණු සඳහන් කර තිබෙනවා.

මෙම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත කරුණු පැහැදිළි කරමින් ඊයේ (15) ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේධානන්ද හිමියන්ගේ ලිපියට පිළිතුරු ලෙස ජනාධිපති ලේකම්වරයා දක්වා ඇත්තේ  කුරුන්දි විහාරය, ශ්‍රී ලාංකික  වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් බවත්, කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්ය.

උතුරු නැගෙනහිර පවතින ඉඩම් ගැටළුවලට විසඳුමක් වශයෙන් යෝජනා කර ඇත්තේ 1985 වර්ෂය වන විට වනාන්තර හා වනජීවී කලාප වශයෙන් පැවැති ඉඩම් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීම බවත් ජනාධිපති ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කර තිබෙනවා.