hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 මැයි 26, ප.ව. 8:24



ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පසුගිය 9 වනදා විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගත් ප්‍රකාශය නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අදාළ ප්‍රකාශය ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඔහු සිටින ස්ථානයට ගොස් එම ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

පසුගිය 9 වනදා කොල්ලුපිටියේ සහ ගාලුමුවදොර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පෙළඹවීමක් තමන් විසින් සිදුනොකළ බවත්, එවැන්නක් දැන සිටියේ නම් එය වළක්වාලන බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් බව වාර්තා වනවා.

එමෙන්ම,තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව තිබූ අතර, පසුගිය 9 වනදා පාක්ෂිකයන් තමන් හමුවීමට පැමිණි බැවින් ඔවුන් අමතා කතාවක් සිදුකළ බවයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත්තේ.

ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් එදින පස්වරුවේ තමා දැනුවත් වූ බවත්, එවැන්නක් සිදුවන බවට දැන සිටියේ නම් අදාළ පාක්ෂිකයන් අරලියගහ මන්දිරයට ඇතුළු කර නොගන්නා බවට හිටපු අග්‍රාමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ දැක්වෙනවා.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් යළිත් වරක් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට නියමිතයි.

පැය 3ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි වාර්තා වන්නේ.