hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 13, පෙ.ව. 11:05



මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවත්වාගෙන යාමේ මාසික පාඩුව රුපියල් කෝටි දහයකට වැඩි බව ත් කොපමණ පාඩු ලැබුවත් මෙය පවත්වාගෙන යන බව ත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවා.

මෙම ගුවන්තොටුපොළ ඉදි කිරීමට චීනයෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 210 ණය වාරික ගෙවීමට ඇති බව ත්, මෙය තවමත් නඩත්තු කරන්නේ කටුනායක උපයන මුදලින් යැයි අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම ගුවන්තොටුපොළ ඉදිකර ඇත්තේ අලි ඇතුන්ගේ වාසබිමක බවත් එම නිසා මේ පරිශ්‍රයට නිරන්තරයෙන් සිදුවන අලි ඇතුළුවීම් සහ පහර දීම් වැළැක්වීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වියදම් අවම කර ගනිමින් විකල්ප ආදායම් උත්පාදන මාර්ග මෙහි ගොඩනැගිය යුතු යැයි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසුගියදා අමාත්‍යවරයා පැවැසුවා.

කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන මෙම ගුවන්තොටුපොළට සේවකයන් 545 අනියුක්ත කර ඇති බවත් මෙයින් සමහරක් කොළඹ සිට මත්තලට ප්‍රවාහනය කිරීමට දිනපතා බස් රථයක් යොදා ඇති බවත් හෙළිදරව් වුණා.

එම නිසා සේවක කළමනාකරණ හා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ද ඉහළ කළමනාකාරිත්වයේ වැටුප් සහ දීමනා පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයා පවසා තිබෙනවා.

මත්තල ගුවන්තොටුපොළ කිසිවිටෙක විකුණන්නේ නැති බවත් පරිපාලනය ප්‍රතිව්‍යුහගත කරමින් හොඳ ආයෝජකයෙක් පැමිණියහොත් සාමුහික ගිවිසුමකට එක්වෙමින් රජයේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ලාභ ලැබීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම නිරීක්ෂණ චාරිකාවට හා සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සමග මත්තල ගුවන්තොටුපොළ පරිපාලන නිලධාරීහු ද සහභාගි වුවා.