hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 24, ප.ව. 11:34



ඉන්දියාවේ නව දිල්ලි නගරයෙන් වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් (monkeypox) රෝගය වැළඳුණු වූ පුද්ගලයෙකු හඳුනා ගෙන තිබෙනවා.

එම රෝගියා දිල්ලියෙන් වාර්තා වූ පළමු ආසාදිතයා වන අතර ඉන්දියාවෙන් වාර්තා වූ සිව් වන monkeypox රෝගියා බව යි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වයස අවරුදු 34 වන ඔහු විදෙස් රටක සංචාරය කළ පුද්ගලයෙකු නොවන බව එරට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරනු ලැබ තිබෙන අතර ඔහු බටහිර දිල්ලියේ පදිංචිකරුවෙක්.

මීට දින තුනකට පෙර රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කර ඇති අතර, ඔහුගෙන් ලබාගත් ජෛව සාම්පල ඊයේ (23) ජාතික වෛරස් විද්‍යා ආයතනයට යවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සෑම සතියක ම සැක සහිත සාම්පල දෙක තුනක් පැමිණෙන නමුත් මේ දිනවල සංඛ්‍යාව දිනකට 2-3 දක්වා ඉහළ ගොස් ඇති බව යි.

මේ අතර අමෙරිකානු රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ වඳුරු උණ රෝගය වයස අවුරුදු 8ට අඩු දරුවන්ට වැළඳීමේ වැඩි අවදානමක් ඇති බවයි.

අලුත උපන් බිලිඳෙකු ද ඇතුළු දරුවන් දෙදෙනෙකුට වඳුරු උණ ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වඳුරු උණ රෝගය නිසා මේ දක්වා අප්‍රිකානු කලාපයෙන් මරණ 05ක් වාර්තා වී ඇති අතර වෙනත් රටවලින් මරණ වාර්තා වී නොමැත.

මෙම රෝගයේ මරණ සිදුවීමේ සම්භාවිතාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම්වලට අනුව සියයට 3ත් 6ත් අතර අගයක් ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මෙවැනි පසුබිමක වෛරසය ලොව පුරා අඛණ්ඩව ව්‍යාප්ත වීමේ අවදානම සලකා මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරස රෝගය පැතිරීම ලොවපුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර මෙම රෝගය පිළිබඳව අවධානයෙන් පසුවන බවයි මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ වඳුරු උණ රෝගී තත්ත්වය සත්තුන්ගෙන් වගේම මිනිස්සුන්ගෙනුත් වැළදිය හැකි බවයි.

“මේක ප්‍රධාන ලෙස පැතිරෙන්නේ අපේ ස්වසන මාර්ගය හරහා.. නැත්නම් හම මතින්. ඒ වගේම ඒවා ගෑවුණු ඇඳ ඇතිරිලිවලින්, කෑම, කෝප්ප, පිගන්වලින්. මේ රෝග විනිශ්චය කරන්න පුළුවන් PCR පරීක්ෂණයක් මගින්. රෝගය පිළිබඳව පර්යේෂණය කිරීමට අවශ්‍ය සියලුම පර්යේෂණ කට්ටල මේ වනවිට අප විද්‍යාගාර සතුව තියෙනවා. ඒකට අවශ්‍ය බෙහෙත් වර්ගත් නිෂ්පාදනය වෙලා තියෙනවා.”