hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:14



ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් වාර්තා වන “නිපා” වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

කෙසේවෙතත් අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇනවුම් කර ඇති අතර ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකි අබේනායක මහත්මිය සඳහන් කළේ, නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනය වී නොමැති බවයි.

කෙසේවෙතත් නිපා වෛරසය පැතිරීම ඉතා අඩුවේගයක් පෙන්නුම් කරන බැවින් එය රටවල් අතර පැතිරීමේ අවදානමක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ.

දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොවන බවයි.

රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළමුත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කළ අය වීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

යම් හෙයකින් වෛරසය මිනිසෙකු හට ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීම, සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ පෙන්වීම මෙන්ම මාරාන්තික මස්තිෂ්ක ප්‍රදාහ (encephalitis) තත්ත්වයක් දක්වා පුළුල් පරාසයක තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.

වෛරසය සිරුරට ඇතුළු වී දින 04-14ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති විය හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: