hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 26, ප.ව. 7:23



ශ්‍රී ලංකාව පුරා පාසැල් බස් රථ හිමිකරුවන් මෙම මැයි මස පාසැල් පැවැත්වූ දින ගනන 06 ක් වුවද මුළු මාසය සදහාම බස්  ගාස්තු අවශ්‍ය බව ප්‍රකාශ කරමින් බලපෑම් , තර්ජනය කිරීම් සිදු කරමින් සිටින බවට තොරතුරු ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

බස් රථ හිමිකරුවන්ගේ සංගම් වල ව්‍යවස්ථා වලට අනුව යම් මාසයක පාසැල් පවත්වන සහ ඔවුන් ප්‍රවාහන සේවා සපයන දින ගණන, දින 10 කට අඩු නම් , එම මාසය සදහා ගාස්තු අය කිරීම අඩක් (භාගයක්) වන බව සදහන් කර තිබෙනවා.

එසේ ඔවුන්ගේ ව්‍යවස්ථාව තුළ තිබියදීත් , එම වගන්ති පසෙක ලා පාසැල් බස් රථ හිමිකරුවන් , මෙම මැයි මාසය සදහා මුළු මාසික ගාස්තුවම අවශ්‍ය බව ප්‍රකාශ කරමින් සිසුන් සහ දෙමාපියන් වෙත බලපෑම් කිරීමට පටන් ගෙන තිබෙනවා.

මීට අමතරව මෙසේ ගාස්තු ගෙවීමට පියවර නොගන්නා සිසුන් තම බස් රථ වලින් බැස්සවීමට පියවර ගන්නා බවට තර්ජනය කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ ලක්ෂ 45 ක් වන සිසුන්ගේ දෙමාපියන් ද වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස බැට කමින් සිටිනවා.

ශ්‍රී.ලං.ග.ම. පාසැල් බස් රථ, සිසු සැරිය හෝ පෞද්ගලික බස් රථ සේවා ද රට පුරා අකර්මණ්‍ය වී තිබෙන අවස්ථාවක පාසැල් බස් රථ හිමිකරුවන් ගන්නා මෙම ක්‍රියාමාර්ගය ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇනීමක් වැනියි.

මීට අමතරව මෙම පාසැල් බස් රථ හිමිකරුවන් ඔවුන් ධාවනයේ යෙදෙන , කිලෝ මීටර් ප්‍රමාණය අනුව ගාස්තු අය කිරීම වෙනුවට තමන්ට අභිමත වූ , හිතුවක්කාර ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයකට අනුව ඔවුන්ගේ බස් රථ ගාස්තු තීරණය කර තිබෙනවා.

එනිසා අදාළ පාසැලේ සිට කිලෝ මීටර් 05 ක තරම් කෙටි දුර ධාවනය කිරීම් සදහා ද විශාල බස් ගාස්තු නියම කර තිබෙනවා.

එම බස් රථ ගාස්තුව කිලෝ මීටර් 20 ක් 30 ක් දුර සිට පැමිණෙන බස් රථ වල ගාස්තුව හා සමාන මට්ටමක පැවතීම ද විශේෂත්වයක්.

එමෙන්ම පාසැල් නිවාඩු මාස සදහා මෙතෙක් මාසික බස් ගාස්තුවෙන් හරි අඩක් අය කිරීම සිදු කළ ද , මේ වන විට මෙම නිවාඩු කාල සදහා ද , (සිසුන් පාසැල් නොගිය ද) සම්පූර්ණ බස් රථ ගාස්තුවම එම මාසය සදහා ද ගෙවා දමන ලෙස පාසැල් බස් රථ හිමිකරුවන් අදාළ දෙමාපියන් සහ සිසුන් වෙත දන්වා තිබෙනවා.