hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 17, ප.ව. 5:03



පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් හිඟය අද වන විට තත්ත්ව ඇත්තේ බරපතල අර්බුධයකට.

මේ අතර ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා සිටියේ පිරවුම්හල් 1190ට සම්පුර්ණයෙන් තෙල් ලබා දෙන තෙක් ඉදිරි කාලය පෝලිම් ගැසී නොසිටින ලෙසයි.

දින තුනක කාලයක් ඉන්ධන නැවත පිරවීමෙන් වළකින ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

අමාත්‍යවරයා පවසන්නේ ඊයේ ඩීසල් නැවක් පැමිණි අතර ඉන්දීය ණය පහසුකම යටතේ තවත් ඉන්ධන නැව් 3ක් ඉදිරි සති දෙක තුළ ලැබීමට නියමිත බවයි.

එම තෙල් ලැබුණු පසු ප්‍රමාණවත් තෙල් තොග සැපයීමට හැකි බව කාංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

බදුල්ල, මහරගම, ගොතටුව, අඹතලේ, පංචිකාවත්ත, වැලිසර, දෙහිඅත්තකණ්ඩිය ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නොමැති වීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටියා.

ඇතැම් ස්ථාන වල උණුසුම් තත්වයක් ඇති වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියද මැදිහත් වුණා.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අද දිනයේ ඩීසල් ලැබුණු බැවින් හෙට සිට බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර ඩීසල් නොමැතිකම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන කටයුතු අකර්මන්‍ය වී ඇති බවයි සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදය පවසනවා.

මේ අතර අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල රථ වාහන සහ විදුලි ජනක යන්ත්‍ර සඳහා ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ මගින් ඉන්ධන ලබාදීමට තීරණය කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සතු රථ වාහන මෙන්ම පාසල් ළමයින් ප්‍රවාහන රථ වාහන ද මීට අයත් වන බවයි.

මේ අතර ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන සඳහා ගෙවීම් කිරීමට නොහැකිව ඉන්ධන නෞකා තුනක් මෙරට මුහුදේ නැංගුරම් ලා තිබෙනවා.

පෙට්‍රල්, බොරතෙල් සහ දැවී තෙල් රැගත් නෞකා තුනක් එලෙස මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති බව මෙරට ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ප්‍රකාශ කළා.

චන්ද්‍රිකා දත්ත මගින් සිදු කළ නිරීක්ෂණයකදී ඉන්ධන නෞකා 05ක් කොළඹ ආසන්නයේ නැංගුරම්ලා තිබෙනු දැකගත හැකි වුණා.

පසුගිය මස 25 වනදා රුසියාවේ සිට ශ්‍රී ලංකාවට ලඟා වී ඇති නිස්සොස් ඩිලොස්, පසුගිය 08 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇති මාර්වල්, පසුගිය 10 වනදා ඉන්දියාවේ සිට පැමිණ ඇති ඊස්ටන් ජුනිපර් ඉන් නෞකා කිහිපයක්.

බහමාස් සිට පෙරේදා පැමිණ ඇති අරියානා සහ එදිනම පැමිණ ඇති මර්ස්ක් බෙරින්ග් නෞකා ද අද උදෑසන වන විටත් ශ්‍රී ලංකා මුහුදේ නැංගුරම් ලා තිබුණා.