hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 16, ප.ව. 9:37



මවකගේ ගර්භාෂයෙන් පිටත වර්ධනය වූ දරුවෙකු සිසේරියන් සැත්කමක් මගින් සාර්ථකව පිටතට ගැනීමට කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙලෙස ගර්භාෂයෙන් පිටත දරුවෙකු වර්ධනය වීම මව්වරුන් තිස්දහසකට එකක් පමණ මුහුණ දෙන දුර්ලභ තත්ත්වයක් බවයි.

ත්‍රිකුණාමලයේ කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගර්භනී මවක් පසුගියදා කොළඹ ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කර තිබුණා.

ඒ, ඇය බිහිකිරීමට සිටින දරුවා ගර්භාෂයෙන් පිටත වර්ධනය වන බවට වෛද්‍යවරුන් කළ නිරීක්ෂණයත් සමඟයි.

මෙවැනි දරුවෙකු පිටතට ගැනීම සඳහා සිසේරියන් සැත්කමක් සිදු කිරීම දැඩි සංකූලතා සහිත ශල්‍යකර්මයක් වුවත් එම අභියෝගය භාරගැනීමට ද සොයිසා කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වුණා.

ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම රෝහලේ මහාචාර්ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිෂාඩ්, වෛද්‍ය හර්ෂණී ලියනගේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඉෂාන් ද සොයිසා, විශේෂඥ වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න යන වෛද්‍යවරුන් එම කණ්ඩායමට ඇතුළත්.

මෙම සැත්කම සිදුකරන අවස්ථාව වනවිට මව ගර්භනී තත්ත්වයේ 34 වැනි සතියටද එළඹ තිබූ අතර දරුවා වර්ධනය වී තිබුණේ බඩවැල සහ මුත්‍රාශය ආශ්‍රිත ප්‍රදේශයේයි.

පැය කිහිපයක සිසේරියන් සැත්කමකින් පසු නිරෝගී ගැහැණු දරුවෙකුට නිරුපද්‍රිතව මෙලොව එළිය දැකීමට අවස්ථාව ලබාදීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට හැකි වුණා.

වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙලෙස ගර්භාෂයෙන් පිටත දරුවෙකු වර්ධනය වීම මව්වරුන් තිස්දහසකට එකක් පමණ මුහුණ දෙන දුර්ලභ තත්ත්වයක් බවයි.