hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 10, ප.ව. 1:30



තිළිණි ප්‍රියමාලිට මුදල් දුන් පුද්ගලයන්ගේ ලැයිස්තුව මෑත කාලයේදී දූෂණ චෝදනා පිළිබඳ බරපතළ ලෙස කතාබහට ලක්වුණු අමාත්‍යවරයෙක් සහ කුප්‍රකට කලාකරුවෙක් එකතු වී සකස් කොට සමාජ ජාලාවලට එකතු කළ බවට නිල නොවන තොරතුරු ලැබී ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

හොරුන් යැයි සම්මත මැතිවරණ සමයේදී සල්ලි කුට්ටි පිටින් වියදම් කරන කිසිවකුගේ නම් එම ලැයිස්තුවේ නැති බවත්, පසුගිය සමයේ ආණ්ඩුව කර්කශ ලෙස විවේචනය කළ දයාසිරි ජයසේකර, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, තමන් ඇතුළු පිරිසකගේ නම් එහි සඳහන්ව ඇතැයිද ඔහු සඳහන් කළේ.

තිළිණි ප්‍රියමාලිට මුදල් දුන් පුද්ගලයන් ලෙස ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍යවල සංසරණය වූ ව්‍යාජ නම් ලයිස්තුව සැකැසූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඊයේ (09) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළා,

“ඊයේ දවස පුරාම සමාජ මාධ්‍යවල වේගයෙන් නම් ලැයිස්තුවක් සංසරණය වූවා.  තිළිණි ප්‍රියමාලිට මුදල් දුන් දේශපාලඥයන්, ව්‍යාපාරිකයන්, භික්ෂුන් වහන්සේලාගේ නම් ලැයිස්තුව කියලා. ඇත්තෙන්ම එය ව්‍යාජ එකක්. එහි මගේ නමත් සඳහන් වුණා. ගෙදර නෝනලා සල්ලි ඉල්ලන විට අපි හැමවෙලේම කියන්නේ අතේ සල්ලි නෑ කියලා. එහෙනම් ඉතින්  තිළිණි ප්‍රියමාලිට දෙන්න සල්ලි කොහෙන්ද කියලා ගෙවල්වල පවා ප්‍රශ්න ඇති වන කාරණයක්. වගකීමෙන් කියනවා මේක ව්‍යාජ නම් ලැයිස්තුවක්. සමාජ ජාලා ඉතා වගකීම් විරහිතව ජනතාව භාවිත කරන නිසා ඇහිල්ලක් බැලිල්ලක් නෑ කවුරුහරි බොරු ලැයිස්තුවක් හදලා දැම්මට පස්සේ ඒක බෙදා හදා ගන්නවා.

ඒ අමාත්‍යවරයාගේ වංචා, දූෂණ පිළිබඳව පාර්ලිමේන්තුවේදී එල්ල වෙලා තියෙන සමාජ අවධානය වෙනතකට යොමු කිරීම තමයි මෙම ව්‍යාජ ලයිස්තුවේ බලාපොරොත්තුව. මොකද ඇත්තටම තිළිණි ප්‍රියමාලිට සල්ලි දුන්නු දේශපාලකයන්, ව්‍යාපාරිකයන් සහ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එයාලගේ නම් ලයිස්තුවක් පොලිසිය ගාව තියෙනවා. තමුන්නාන්සේලාට පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකගෙන් අහන්න පුළුවන් මේ ලයිස්තුවේ ඉන්න අය ඒ ලැයිස්තුවෙත් ඉන්නවද කියන කාරණය.  ඉතින් මෙහෙම ලයිස්තුවක් පොලිසියේ තියෙන නිසා ජනතාව ඉන්නේ කුතුහලයෙන්.  එතකොට ඒ අවස්ථා පාවිච්චි කරලා සමාජයේ කුතුහලය සැබෑ වංචා, දූෂණවලින් වෙනත් පැත්තකට යොමු කිරීමේ යටි අරමුණින් තමයි මෙම ලැයිස්තුව ඉදිරිපත් කරලා තියෙන්නේ.

මම අද ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නා සමාජ ජාලාවලට මෙම ව්‍යාජ නම් ලැයිස්තුව එකතු කළ දුරකථන අංක. පොලිසියට ඔවුන් ප්‍රශ්න කිරීම හරහා මෙය මුලින්ම එක් කළේ කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු සොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඔවුන් නීතිය ඉදිරියට ගේන්නට ඕනේ. යටි අරමුණු තියෙන අය සමාජ ජාලා වැරදි අන්දමට භාවිත කරමින් ජනතාව නොමඟ යවන නිසා සමාජජාල පිළිබඳව යම් නියාමනයක් අවශ්‍යයි කියන එක මින් මා ඉගෙන ගත්තා. ඒත් ඇත්ත තොරතුරු ප්‍රකාශ කරන, තමන්ගේ ඇත්ත මතය කියන කිසිවකු බය වෙන්න අවශ්‍ය නැහැ. සමාජ ජාලාවලින් ජනතාව නොමඟ යවන අය පමණයි ඊට බිය විය යුත්තේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: