hit counter

2024 ඔක්‍තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 07, පෙ.ව. 9:43



දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය 50න් ඊයේ (06) ධාවනය වුණේ 21ක් පමණක් බව වාර්තා වෙනවා.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය 07ක්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ 07ක්, කැලණිවැලි දුම්රිය මාර්ගයේ 03ක් සහ හලාවත දුම්රිය මාර්ගයේ 04ක් ලෙස දුම්රිය ධාවනය වී තිබෙනවා.

දුම්රිය ස්ථාන කිහිපයකම මහජනතාව නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා දුම්රිය ස්ථානවල ආරක්‍ෂාවට ඊයේ (06) සිට පොලීසිය හා හමුදාව යෙදවීමට ද කටයුතු කර තිබිණි.

 සේවයට වාර්තා කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දුම්රිය ධාවනාගාර සේවකයන් විසින් දුම්රිය ස්ථාන වෙත දුම්රිය මුදා නොහැරීම නිසා පෙරේදා (05) පස්වරුවේ කාර්යාල දුම්රිය හා දුර ගමන් සේවා දුම්රිය රැසක් අත්හිටුවා තිබුණා.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානවල මගීන් අතරේ නොසන්සුන්තා ඇති වුණා.

දුම්රිය ස්ථානවල හටගත් තත්ත්වයන් පාලනය කිරීමට නොහැකි බව පවසමින් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානාධිපතිවරු පෙරේදා පස්වරුවේ සිට සිය සේවාවෙන් ඉවත් වුණා.

දුම්රිය පාලනාධිකාරිය සමග පැවැති සාකච්ඡාවකින් පසු පෙරේදා රාත්‍රියේ එම වර්ජනය අවසන් කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්, යළි ඊයේ (06) උදේ සිට වර්ජනය අරඹා තිබුණා.

මේ ගැන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“පානදුර දුම්රිය ස්ථානයේ කනගාටුදායක සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. මගීන්ගේ පහරදීමකින් දුම්රිය ප්‍රවේශපත්‍ර කවුළුවට හානි සිදුවෙලා. දුම්රිය ස්ථානාධිපතිවරුන් බේරා ගන්න පොලිසියේ සහාය ගන්න සිදුවුණා. මෙවැනිම තත්ත්වයක් සිදුවෙන්න ආවා කොටුව දුම්රිය ස්ථානයේත්. කොටුව, මරදාන, රාගම, කොල්ලුපිටිය සහ පානදුර දුම්රිය ස්ථානවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්‍ෂාව පතා මේ මොහොතේ ඉවත්කර තිබෙනවා. අපි හමුදා ආරක්‍ෂාව ඉල්ලා තිබෙනවා. ජනතාව පීඩාවකින් ඉන්නේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක. දුම්රියක් නැති වුණාම ඔවුන්ගේ පීඩාව පුපුරා යන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හරහායි.”

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“කාර්යාලයීය දුම්රිය 48ක් 50ක් විතර ධාවනය වෙන්නෙ ඕනෑ. ඒකෙන් අද කාර්යාල දුම්රිය 25ක් පමණයි ධාවනය වුණේ. රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත, අලුත්ගම, ගාල්ල, වැනි දුම්රිය ස්ථානවලින් එන්න තිබූ දුම්රියත් අවලංගු වෙලා තිබුණා.”

නමුත් ආසන වෙන් කළ දුම්රිය සුපුරුදු පරිදි ධාවනය වූ බව ද ඒ මහතා සඳහන් කළා.

කෙසේවෙතත් දුම්රිය වර්ජනය හේතුවෙන් දහස් සංඛ්‍යාත මගීහු දැඩි පීඩාවකට පත්ව සිටියදී ඊයේ (06) දිනය පුරාම ධාවනය වූයේ පෞද්ගලික බස් රථ 18,000න් 1000ක් පමණක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවා.

පෞද්ගලික බස් සඳහා ප්‍රමාණවත් පරිදි ඩීසල් ලබා දීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා සිදුනොවන බවද ඔහු සඳහන් කළා.

උද්ගත වී ඇති මෙම තත්ත්වය හමුවේ මගී ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවත් පෞද්ගලික බස් රථ සදහා ඩීසල් ලබා දීමේ සුදුසු ක්‍රමවේදයක් කඩිනමින් සකස් කර ක්‍රියාවට නැංවිය යුතු බවත් ඔහු පවසා සිටියා.

https://streamable.com/bshd03

මේ අතර කොළඹින් පිට පළාත් වල බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වන බව ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළා.

ඒෂියන් මිරර් බදුල්ල වාර්තාකරු සඳහන් කළේ දුර ගමන් බස් සේවා වල යම් අඩුවක් පැවතිය ද කෙටි දුර ධාවනය වන බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර තිබෙන බවයි.

පාසල් මෙන්ම කාර්යාලය සේවා සීමා කර ඇති බැවින් දැඩි මගී තදබදයක් නොමැති බවද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඒෂියන් මිරර් දඹුල්ල වාර්තාකරු සඳහන් කළේ සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය වන බවත් දුර ගමන් බස් රථ වල සුළු අඩුවක් පවතින බවයි.

කෙසේවෙතත් අවම දුම්රිය ප්‍රමාණයක් ධාවනය වීම හේතුවෙන් දුම්රිය මගීන්ගේ ආරක්‍ෂාව දැඩි අවදානමකට ලක්ව තිබෙනු දැකගත හැකි වුණා.

බොහෝ දුම්රිය මගීන් දුම්රිය වහලය මත, එන්ජිම දෙපස, පාපුවරුවල දැඩි අවදානම් සහගතව ගමන් කරනු දැකගත හැකි වුණා.

Example Image