hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 30, පෙ.ව. 10:20



උතුරු නැඟෙනහිර හඳුනා ගත් ඇතැම් පුරාවිද්‍යා භූමිවල මායිම් සලකුණු කරන මායිම් ගල් ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග දී ඇත්නම් එය බරපතළ තත්ත්වයක් වශයෙන් දකින බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසූවා.

උතුරු සහ නැඟෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම හා සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳ ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව විසින් පත්කරන ලද විද්වත් මණ්ඩල වාර්තාව අස්ගිරි මහ නාහිමි වරකාගොඩ ශ්‍රී  ඥානරතන නාහිමි වෙත එම සංවිධාන එකමුතුව විසින් ඊයේ (29) භාරදුන් අවස්ථාවේ උන්වහන්සේ ඉහත අදහස් පළ කළා.                                                                    

“උතුර නැඟෙනහිර පුරාවිද්‍යා ඉඩම් සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුව පිළිබඳව අපි යම් යම් අවස්ථාවල මහා සංඝරත්නය වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට මෙන්ම විරෝධය පළ කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපතිවරයා දමිළ මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීමට අනුව මේ රටේ බෞද්ධ උරුමයන් එහාට මෙහාට කරන්න යනව‍ෙදා් කියන සැකය මහා සංඝරත්නය වශයෙන් අපිට තියෙනවා. පුරාවිද්‍යා ඉඩම්වල මායිම් ගල් ගලවනවද එහෙම නැත්නම් මම ගලවන්නද කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය වශයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද උන්වහන්සේ පැවසූවා. 

මෙහිදී නාහිමිවරුන් හමුවේ අදහස් පළ කළ නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මේ වන විට හඳුනාගෙන ඇති උතුරු හා නැඟෙනහිර පළාත් පුරාවිද්‍යා වටිනාකමින් යුත් බෞද්ධ සිද්ධස්ථාන 1700ක් පමණ විනාශ මුඛයට පත්වෙමින් පවතින බවත් එම ක්‍රියාවලිය සංවිධානාත්මක පුද්ගලයන්ගේ මැදිහත්වීම මත ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බව පැහැදිලිවම දක්නට ලැබෙන බවද  සඳහන් කළා.                                                             

පුරාවිද්‍යා පනතට අනුකූලව උතුරු සහ නැඟෙනහිර පළාත්වල සිදුකෙරෙන පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයන් ප්‍රචණ්ඩ විරෝධතා පවත්වන හා මෙහෙයවන තත්ත්වයක් ඇති බවත් එම බලපෑම්වලට යටත් වීම නිසා හෝ එසේ නොමැති තත්ත්වයකදී පවා නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මැළිකමක් දැක්වීමේ තත්ත්වයන්ද බරපතළ වෙමින් පවතින බවත් සාමය කඩවීම වැළැක්වීමේ මුවාවෙන් අධිකරණය පවා නොමඟ යවමින් සංරක්ෂණ කටයුතු අත්හිටුවීමට යම් යම් පාර්ශ්ව සමත් වීම තුළ ඓතිහාසික ව්‍යුහයන් නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි ආකාරයට විනාශ මුඛයට පත්වීමේ බරපතළ අනතුරක් පැන නැඟී ඇති බවද මෙම අවස්ථාවට සහභාගී වූ සංවිධාන නියෝජිතයෝ නාහිමිවරු හමුවේ පැවැසූවා.