hit counter

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

2025 ජනවාරි 24, පෙ.ව. 12:33



නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම නතර කරන ලෙසත් යම් හෙයකින් ඩිජිටල් හැඳුනුම්පත ඉන්දියානු හෝ වෙනත් රටක සමාගමක ලබා දෙන්නේ නම් එම දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳව ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.

කොළඹ බත්තරමුල්ලෙ පිහිටි ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා මේ බව අනාවරණය කළේය.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගේ ද දැනුවත්කම අනුව දැනට නිත්‍යානුකූල අයුරින් වයාජ ජාතික හැඳුනුම්පත් නිකුත්වන්නේ කෙසේද යන්න ගැන මෙහි දී පරිගණක ක්‍රමසම්පාදක විශ්ලේෂක සහ සමාජ ක්‍රියාකාරී විජය උඳුපිටිය මහතා විසින් සුවිශේෂී අනාවරණයක් කරන ලදි.

ඒ අනුව ව්‍යාජ ජාතික හැඳුනුම්පත් කොපමණ සංඛ්‍යාවක් රට තුළ භාවිතා වනු ඇත්දැයි සැක පළ කළ විමල් වීරවංශ මහතා, ව්‍යාජ හැඳුනුම්පත හැදෙන එක එක පැත්තකින් නතර කරනවා මෙන්ම, අනෙක් පැත්තෙන් ඩිජිටල් හැඳුනුම්පතක් හදනවා නම් ඒක ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආයතනයකින් සිදුවිය යුතු දෙයක් මිස ඉන්දියානු හෝ වෙනත් රටක සමාගමකින් සිදුවිය යුතු දෙයක් නොවන බව අවධාරණය කළේය.

ඉන්දියානු ආධාර් ඩිජිටල් පද්ධතිය සුරක්ෂිත යැයි කියමින් නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන පියවර නතර කිරීමට අවශ්‍ය පියවර නොගනමින්යන ගමනක් කිසිසේත් රටට සුබදායී නොවනු ඇතැයි ද විමල් වීරවංශ මහතා විශ්වාසය පළ කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා

පෙර ආණ්ඩුව විසින් ආරම්භ කරලා මේ ආණ්ඩුව විසිනුත් කරගෙන යමින් තිබෙන ඩිජිටල් හැඳුනුම්පතේ තියෙන වංචාවේ ස්වභාවය ගැන අපි අද කරුණු හෙළිදරව් කරනවා.

සාමාන්‍යයෙන් ඩිජිටල් හැඳුනුම්පත් ලෝකයේ බලවත් රටවල් බොහොමයක් හඳුන්වලා දීලා නැහැ. එක්සත් ජනපදය ගත්විට ප්‍රාන්ත කීපයක විතරයි ඔය ඩිජිටල් හැඳුනුම්පත තියෙන්නෙ. අනෙක් ප්‍රාන්ත වල නැහැ. එක්සත් රාජධානිය ගත්තත් මෙතෙක් එවැන්නක් හඳුන්වා දී නැහැ. රුසියාවත් ඩිජිටල් හැඳනුම්පතක් ගැන කතා කළාට මෙතෙක් එවැන්නක් ඒ රට වැසියන්ට හඳුන්වා දී නැහැ. කැනඩාව ගත්තත් ඇතැම් ප්‍රාන්තවල පමණයි මෙය ක්‍රියාත්මක වෙන්නෙ.

වර්තමාන ජනාධිපතිතුමා මෑතක කිවුවා ලෝකයේ සුරක්ෂිතම ඩිජිටල්කරන පද්ධතිය තියෙන්නෙ ඉන්දියාවට කියලා. හැබැයි අමෙරිකානු ආයතනයක් 2023 ඔක්තෝබර් 15වැනිදා හෙළිදරව්වක් කළා ඩාක් වෙබ් හරහා ඉන්දියානුවන් මිලියන 815කගේ වටිනා දත්ත හොරකම් කර තිබෙනවා කියලා. ඊට කලිනුත් ආධාර් කියලා හඳුන්වන ඩිජිටල් පද්ධතිය 6000කට වඩා සිදුවීම් වාර්තා වෙලා තියෙනවා විවිද දත්ත ඩාක් වෙබ් අඩවිවලින් හොරකම් කර තිබෙනවා කියලා. ඒ නිසා මේ ඩිජිටල් හැඳුනුම්පත කියන එක සිය දහස්වතාවක් කල්පනා කළ යුතු එකක්. ඒ වගේම දැනට ක්‍රියාත්මක කරන ඩිජිටල් හැඳුනුම්පතේ වංචා සහගත ක්‍රියාවලිය වහාම නතර කළ යුතු එකක්.

අද අප කළ මේ අනාවරණය එක්ක හොර හැඳුනුම්පත් කොපමණ සංඛ්‍යාවක් අපේ රට තුළ මේ වනවිට පාවිච්චියට ගැනෙනවා ඇත්ද කියලා ඔබට දැන් වැටහෙනවා ඇති. දැන් මේ අතරෙත් රොහින්ග්‍යා සරණාගතයො ලක්ෂ ගණනක් ලංකාවට වද්ද ගන්න හදනවා. ඒ අය කී දෙනෙක් මේ විදියට හොර හැඳුනුම්පත් හදාගනීවි ද කියලා මේ විස්තර කිරීම එක්ක සැකකරන්න අපට බලවත් හේතු තියෙනවා.

ඒ වගේම අසල්වැසි රටවල පුද්ගලයන් විවිද රැකියා සඳහා ලංකාවට එනවා. දැන් ආණ්ඩුව සූදානම් වෙනවා ඉන්දියාව එක්ක ප්‍රසිද්ධ කරපු ඒකාබද්ධ ගිවිසුම අනුව එට්කා ගිවිසුම අත්සන් කරන්න. එතකොට එට්කා ගිවිසුම අත්සන් කළොත් රැකියා සඳහා ඉන්දියානුවො ලංකාවට කඩා වැදීම වළක්වන්න බැහැ. ඒක ලක්ෂ ගණනින් නෙමෙයි කෝටි ගණනින් උනත් වෙන්න පුළුවන් දෙයක්. එතකොට ඒ එන ඉන්දියානුවන්ටත් මේ විදියෙ හොර හැඳුනුම්පත් හැඳුනොත් ලංකාවේ ජනගහන සංස්කෘතිය කොයි විදියටද විකෘති වෙන්නෙ කියලා අපට සැක පළ කරන්න සිද්ධවෙනවා.

මේ අනාවරණය අනුව තිබෙන බරපතලකම තමයි, හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙ දැනුවත්කම අනුවයි මේ හොර හැඳුනුම්පත් නිකුත් කිරීම සිදුවෙන්නෙ. ඒ නිසා ඕනෑම කෙනෙකුට. අපි දන්නවා මීගමුව පැත්තෙ සරණාගතයන් විදියට ආපු පාකිස්ථාන ජාතිකයන් ඉන්නවා. ලංකාවේ ඉපදුණු කෙනෙකුට නෙමෙයි මේ ඕනෑම කෙනෙකුට හොර හැඳුනුම්පත ලබා දෙන්න පුළුවන් විදියට තමයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු සකස් කරගෙන තියෙන්නෙ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් හා රටෙන් ඉල්ලනවා වහාම මේ හොර හැඳුනුම්පත් ක්‍රියාවලිය නතර කරන්න පියවර ගන්න.

ඒ වගේම ආධාර් කියන ඩිජිටල් දත්ත පද්ධතිය හරහා ඩාක් වෙබ් වලට ඉන්දියානුවන් මිලියන 815ක පුද්ගලික දත්ත හොරකම් කරන්න පුළුවන් උනානම්, මේ රටේ ඩිජිටල් හැඳුනුම්පත ඉන්දියානු සමාගමකට හදන්න දුන්නම ඒ තොරතුරු කොයි විදියට විකිණේද කියලා අපි කාටවත් කියන්න බෑ. සාමාන්‍යයෙන් ඩිජිටල් හැඳුනුම්පත් හඳාගත්ත රටවල් ලෝකේ නැත්තෙ නෑ. ඒ රටවල් ඒක කරගෙන තියෙන්නෙ තමන්ගේම ආයතනවලින්. වෙනත් රටක ආයතනයකින් නෙමෙයි. දත්ත කියන එක නූතන ලෝකයේ ඉතා වැදගත් සාධකයක්. ව්‍යාජ හැඳුනුම්පත හැදෙන එක එක පැත්තකින් නතර වෙනකොට අනෙක් පැත්තෙන් ඩිජිටල් හැඳුනුම්පතක් හදනවා නම් ඒක ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආයතනයකින් සිදුවිය යුතු දෙයක් මිස ඉන්දියානු හෝ වෙනත් රටක සමාගමකින් සිදුවිය යුතු දෙයක් නෙමෙයි. ඒ දත්ත පද්ධතියේ සුරක්ෂිතභාවය පිළිබඳව ආණ්ඩුව වගකීම ගන්න ඕන. ඒ නිසා මේ කිසිවක් හිතන්නෙ නැතිව ඉන්දියානු ආධාර් ඩිජිටල් පද්ධතිය සුරක්ෂිතයි කියලා කයියවල් ගසමින් මේ සිදුවෙමින් තියෙන නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන පියවර නතර කිරීමට අවශ්‍ය පියවර නොගනමින්යන ගමනක් කිසිසේත් රටට සුබදායී නැහැ කියලා අපි අවධාරණය කරනවා යැයි විමල් වීරවංශ මහතා පැවසීය.

පරිගණක ක්‍රමසම්පාදක විශ්ලේෂක සහ සමාජ ක්‍රියාකාරී විජය උඳුපිටිය මහතා

ලංකාවේ ජාතික හැඳුනුම්පත හා පාස්පෝට් එක උපයෝගි කරගෙන 2004 කරපු බිලියන 3.9ක වැට් වංචාව පිළිබඳව අවුරුදු විසි අටක් තිස්සෙ අධ්‍යනය කර තිබෙනවා. මේ තියෙන්නෙ පරණ අයිඩින්ටි කාඩ් එක යටතේ අංක 9ක ඉලක්කම. අනෙක් පැත්තෙ තියෙන්නෙ අලුත් අයිඩින්ටි කාඩ් එකේ අංක 12ක ඉලක්කම. පැරණි අයිඩින්ටි කාඩ් එකේ මුල් ඉලක්කම් දෙක ගන්නෙ උපන් අවුරුද්ද විදියට.ඊළග ඉලක්කම් තුන තමන් ඉපදුණු දවස වනවිට ඒ අවුරුද්දෙ ගෙවී ගිය දින ගණන. මේක කවදාවත් ඩුප්ලිකේට් වෙන්නෙ නැහැ. මේකට 500 එකතු කරන්නෙ ගෑනු කෙනෙක් නම්. එහෙමයි කාන්තාව හඳුනාගන්නෙ.
පුද්ගලයන් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුව හැමවිටම වර්ෂයකට දවස් 366 ලෙස සළකා කටයුතු කරනවා. අනෙක් ඉලක්කම් හතර අනු අංකය ලෙස සැළකෙනවා. එය එදිනට ඉපදුණු මිනිසුන් ගණනට සමාන වෙන්න ඕන. 9999 ඉලක්කම දක්වා එය භාවිතා කරන්න පුළුවන්. පුද්ගලයන් ලියාපාදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එහි අන්තිම ඉලක්කම සීක්‍රට් නම්බර් එකක් කියලා සළකනවා. ඒක මිකී මවුස් හා ඩොලන්ඩ් ඩක් ක්‍රමයක්.එය කාටුන් ක්‍රමයක්.

මම මෙතන ඔබට පෙන්වනවා ගිය අවුරුදු 40 උපත් සංඛ්‍යා ලේඛනය. 1981 අවුරුද්දෙ දිනකට ඉපදිලා තියෙන වැඩිම සංඛ්‍යාව ඉපදිලා තියෙන්නෙ 1158 අවුරද්දෙ වාර්තා වෙනවා. අඩුම ගණන 1997 දි වාර්තා වෙලා තියෙනවා. 2014-22 දක්වා උපත් බැලුවාම, 2022 වෙනකොට දෛනික උපත් 754 දක්වා පහළ බැහැලා තියෙනවා. උපත් සංඛ්‍යාව මේ විදියට පහළ බැසිම ගැන වෙනම කතා කළ යුතු මාතෘකාවක්. මෙතන මම ඔබට පෙන්වනවා හොර ජාතික හැඳුනුම්පත් හා විදෙස් ගමන් බලපත්‍ර හඳන සූත්‍රය. 999න් දෛනික උපත් අඩුකරාම එන සංඛ්‍යාවයි අලුත් හැඳුනුම්පත අනුව 9999න් දෛනික උපත් අඩු කරාම එන සංඛ්‍යාවටයි ව්‍යාජ හැඳුනුම්පත් සකස් කිරීමේ අවදානම තියෙනවා.
2016 පසුව ජාතික හැඳුනුම්පත් පනත වෙනස් උනා. වර්ෂය පෙනවපු ඉලක්කම් දෙක වෙනුවට ශත වර්ශය දාගන්න සිදුවිමත් සමඟම ඉලක්කම් හතර වෙනුවට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ඉලක්කම් පහක් ඒ සඳහා යොදා ගත්තා. විශේෂඥ මණ්ඩලයක් නැතිව ගත්ත තීරණයක්. පාර්ලිමේන්තුවෙන් අවසරත් නෑ.ගැසට් එකෙත් එහෙම නෑ.

මේ තියෙන්නෙ හොර පාස්පෝට් එකක්. මේ පාස්පෝට් එක හදන්න කිසිම ඇඟිලි සළකුණක් දුන්නෙ නෑ.අයිඩින්ටි කාඩ් එකක් දුන්නෙ නෑ. අයදුම්පතක් දුන්නෙ නෑ. මම මේක හැදුවේ මගේ පර්යේෂණය ඔප්පු කරලා පෙන්වන්න. පසුව පාස්කු කොමිසමට මේක බාරදුන්නා. ත්‍රස්තවාදින් කොහොමද ක්ෂණිකව පුරවැසියො වෙන්නෙ කියලා පෙන්වන්නයි මම ඒක කරේ. දෙපාර්තමේන්තුවේ නිලධාරින් පාස්පෝට් එකක් හදන්නෙ මුදලට නම් ඔවුන් ඉල්ලන්නෙ අවශ්‍ය නමයි උපන්දිනයයි විතරයි.

මීට අවුරුදු විස්සකට පෙර හදාගත්ත නීතිය අනුව පාස්පෝට් අයදුම්පත අවසානයේ ඉල්ලුම්කරුටම දෙනවා. හදිසියෙවත් සී.අයි.ඩී එකෙන් කුදලගෙන ආව වෙලාවක කියන්න දෙයක් ඉතිරි නොවන්න තමයි හොර පාස්පෝට් එකට අයදුම්පතක්වත් ගත්තෙ නැත්තෙ. මෙතන තියෙනවා මාකඳුරේ මදුෂ්ගෙ ව්‍යාජ පාස්පෝට් එක ඇතුළු පාස්පෝට් කිහිපයක්. මෙතන අනෙක් තියෙනවා වැට් බදු වංචාවට අදාළ හැඳුනුම්පත්. මේ අංක ක්‍රමය ප්‍රසිද්ධියට පත්කර නැති නිසා බැංකු නිලධාරින්ට මේකට කියන්න නිදහසට කරුණු තියෙනවා මා දැන සිටියේ නැත කියලා.

මෙතන තියෙන ප්‍රශ්නය තමයි හොර හැඳුනුම්පත් හදන අය අදාළ අංකයට හැඳුනුම්පතක් නිකුත් කර නොමැති බව දැන ගත්තේ කෙසේද කියන එකයි. වැට් වංචාව ගත්තම අඩි හතළිහේ කන්ටේනරයක් රුපියල් 5000 නෝට්ටුවලින් පුරවනවා වගේ ප්‍රමාණයක්. මේ තියෙන්නෙ වැට් බදු වංචාවේ නඩු තීන්දුව.රු.බි. 3.9ක්. මේක පිටු 300ක නඩු වාර්තාවක්. මේ වංචාවට සම්බන්ධ අය ගාව තාම උතුරන්න සල්ලි තියෙනවා. උසාවියෙන් දඩ ගහලා දේපල රාජසන්තක කරාට, 2004 හොරකම් කරපු බිලයන 3.99ට දඩුවම් කළේ 2014ත් පහුවෙලා. එතකොට දස අවුරුද්දක් මේ අයට ලැබුණු පොලිය තවත් බිලයන 3.99කටත් වැඩියි.

ඒ පොලියට උසාවියෙන් දඩ ගැහුවේ නැහැ. ඒ නිසා හොරකම් කරපු මුල් මුදල තාමත් මේ අය ගාව තියෙනවා. ආනන්ද වික්‍රමසිංහ අඹේපිටිය,පුෂ්පාලි ජයන්ති ද සොයිසා ජයතිලක, අගංපොඩි ඥාණතිලක ද සොයිසා ජයතිලක කියන තුන්දෙනා තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැට් කියන පුන්නක්කු ගොඩ උඩ වාඩිවෙලා උන්නෙ. මේකට සම්බන්ධ උන 13දෙනාම යාඥාවෙන් හා ඇදහිලිවලින් සම කණ්ඩායමක්. මෙතන තියෙනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විජය රණසිංහගේ අත්සනින් නිකුත් කෙරුණු හොර හැඳුනුම්පත්. මේ එකක් නිකුත් කරලා තියෙන්නෙ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියෙක්ට. රු.3500කට තමයි ඒක හදලා දීලා තියෙන්නෙ. මේ තියෙන්නෙ ඩග්ලස් දේවානන්දගෙ කාර්යාලය පුපුරගන්න ආපු කළු කොටි කාන්තාවගේ අයිඩින්ටි කාඩ් එක.ඒක නිකුත් කරලා තියෙන්නෙ විජය රණසිංහගෙ අත්සනින්. සමන් විජේසිරි කියන ඉංජිනේරුවා මැරුවා. ඒ මිනිය සල්ෆියුරික් ඇසිඩ්වල දිය කරලා කියලා තමයි කියන්නෙ.තාම හොයාගන්න බැරි උනා. හැබැයි එයා ගුවන්තොටුපළෙන් පිටවෙලා කියලා සටහනක් දැම්මා. ගුවන්තොටුපලේ බෝඩකොන්ට්‍රෝල් ඩේටා බේස් එක ගලන ගඟක් වගෙයි. ඉස්සරහට යන වා මිසක් ඒක පස්සට ගන්න බෑ. කොහොම ද මේ දත්ත ඇතුළත් කළේ ?

2016 පාර්ලිමේන්තුවේ සම්මතකරගත් පනතක් තියෙනවා. හැඳුනුම්පතක් සඳහා ඉදිරිපත් කරන අයදුම්පත විනාශ කරගන්න. ඒක අදාළ පනතට සංශෝධනයක් ලෙස ගෙනවිත් තියෙනවා කවුරුත් දැක්කෙ නැහැ. හැඳුනුම්පතක් හදන්න තියෙන නියමිත ගමන් මාර්ගය නිලධාරින් විසින් මේ ආකාරයට විනාශ කර දැමුවා. පාර්ලිමේන්තු පනතකින් කළේ එයයි. මුළු ජාතියම ගුල්ලො ගහපු හාල් ගෝනියක් බවට පත් වෙලා. ගුල්ලො නම් හොර පාස්පොට් සහ හොර අයිඩින්ටි කාඩ්. හාල් තමයි නිවැරදි දේවල්. ජාතික හැඳුනුම්පතක් කියන්නෙ සමාජය රැකවල් කරන බුද්ධිමය ගිනි වැටක්. ඒක හොරට හදන්න හදාගෙන තියෙන නීත්‍යානුකූල ක්‍රමවේදය නිසා සමාජයට වෙලා තියෙන පරිහානියක්. මේ ගැන කතාකරන්න දේශපාලඥයො කීපදෙනෙකුට කතා කළත් විමල් වීරවංශ මැතිතුමා විතරයි මට මේ අවස්ථාව ලබා දුන්නෙ.යැයි හෙතම කීවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: