hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 20, ප.ව. 5:20



ජනතාවගේ පැත්තෙන් සිට 22 වන සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය ලබාදෙන බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

රජය ශක්තිමත් කිරීමට ඡන්දය ලබාදුන්නා යැයි ඇතැම් අය ප්‍රකාශ කළ හැකි බවත් මේ තත්ත්වය තුළ මේ සංශෝධනවලින් පමණක් රටේ තිබෙන මූලික ප්‍රශ්න විසඳෙන්නේ නැති බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාව පහතින්,

අද විසි දෙවැනි සංශෝධනය ගෙන එන මේ මොහොතේ දී මට මතක් වෙනවා 2015 දී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කොයි තරම් සතුටකින් හිටියද කියලා මට මතක් වෙනවා.

ඒ වගේම රටේ ජනතාවට අද තිබෙන ප්‍රශ්න මොනවත් නැතිව බොහොම සතුටින් හිටපු කාලයක් කියන එකත් මතක් වෙනවා.

මම වඩාත් සතුටු වෙනවා මම ජනාධිපතිවරයා ලෙස දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සභාවට ගෙන එන අවස්ථාවේ දවස් දෙකක් අපි විවාද කරලා ඒ දවස් දෙක මා ජනාධිපතිවරයා ලෙස මේ සභාවේ ඉඳලා ඇමතිවරුන්ගේ ,මන්ත්‍රීවරුන්ගෙ කරට අත දාලා මචං, මල්ලියේ ,අයියේ කියලා 225 න් 215 ක් ගන්න අපිට පුළුවන් වුණා.

එදා 215ක් අරගෙන අද විශේෂයෙන් කියන්න ඕනේ එදා හවස විජේදාස රාජපක්ෂ මහතා කළ සේවය. දෛවෝපගත සිදුවීමක් වගේ අද එතුමා 22 ගෙන අවස්ථාවේදී මතක් කරන්න ඕනේ එදා 2015 දි අවසාන පැය දෙකේ සංශෝධන ආව මොහොතේදී කර ගැහුවෙ මගේ ආණ්ඩුවේ විජේදාස රාජපක්ෂ ඇමතිතුමා. ඒ නොයෙකුත් ප්‍රශ්න වලට උත්තර දීලා හවස පහට ඡන්දය දෙන්න තිබ්බ එක. එක රෑ හත වෙනකන් කල් ගිහිල්ලා කොහොමහරි අපි 215 වක් එම යෝජනාවට ඡන්දය ගත්තා. විජයදාස රාජපක්ෂ මැතිතුමාට මා විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.

22 ගෙන එන අවස්ථාවේ 19 තිබෙන හොඳ කරුණු විශේෂත්වය ගැනත් කතා කරා ඒ වගේම විශේෂයෙන්ම හොඳ පුද්ගලයන් කොමිෂන් සභාවට පත් කරන්න කියන කාරණය සඳහන් කරා කියලා මේ සභාවේ දැන් යෝජනා වුනා.

විශේෂයෙන්ම මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීතුමාට සඳහන් කරන්න ඕනේ 19 ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි ව්‍යවස්ථා සභාව දේශපාලනකරණීය වීම. ඒ වගේම කථානායකවරයාට අවශ්‍ය පරිදි කොමිෂන් සභා මෙහෙයවීමට පුළුවන් වීම. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ මොහොතේම 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වී තිබෙනවා එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාවන් සඳහා රෙගුලාසි පැනවිය යුතුයි කියලා. හැබැයි කිසිම ස්වාධීන කොමිෂන් සභාවකටවත් කිසිම රෙගුලාසියක් අනුමත කරේ නෑ. මේ නිසා ව්‍යවස්ථා සභාවක්, ස්වාධීන කොමිෂන් සභාත්, එක එක්කෙනාට ඕන විදිහට හසුරුවන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වුණා.

ප්‍රධාන වශයෙන්ම මම කියන්නට ඕනේ ඉතාම දක්ෂ විනිශ්චයකාරවරු ඒගොල්ලන්ගෙ උසස්වීම අග්‍රවිනිශ්චකාරතුමා ඇහුවහම මම ඒක ව්‍යවස්ථා සභාවට එවපුවහම ව්‍යවස්ථා සභාව ඒවා ප්‍රතික්ෂේප කරා. මේ නිසා ඉතාමත් සුදුසුකම් තිබුණු විනිශ්යකාර තුමන්ලා උසස්වීම් නැතුවම විශ්‍රාම යන්න සිද්ධ වුණා.මේ වගේ ප්‍රශ්න තිබුණා 19 යේ. මේ වගේ දෙශපාලනීකරණය වීම, ව්‍යවස්ථා සභාවේ දකින්නට තිබුණා. ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය නොවිය යුතුයි.සිවිල් සංවිධාන කියලා පුද්ගලයින් පත්කර ඒ පුද්ගලයන් ස්වාදීනයි කියලා කිව්වට සම්පූර්ණ දේශපාලනීකරණය වුණා.

මෙය දේශපාලන ක්‍රියාකාරීන් ඒ නිසා තමයි මේ දේ සිද්ද උනේ 1978 සිට විසි දෙවන වතාවට ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාව සාමාන්‍යයෙන් බැලුවොත් සෑම ආණ්ඩුවක්ම ව්‍යවස්ථා සංශෝධනයට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපි කනගාටු වෙන්න ඕනේ එංගලන්තය වගේ රටක ලියපු ව්‍යවස්ථාවක් නැතුව අවුරුදු සිය ගණනක් රට පාලනය කරනවා. අපි ලැජ්ජ වෙන්න ඕනෙ විසි දෙවැනි වතාවටත් අපි ව්‍යවස්ථාව සංශෝධනය කරනවා.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළේ බොහෝ අවස්ථාවට ජනතාවගේ උවමනා එපාකම් වෙනුවෙන් නොවෙයි තම තමන්ගේ පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් බොහෝ අවස්ථාවල සංශෝධන සිදු කර ගත්තේ තමන්ගේ බලය වැඩි කරගැනීමට. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිතුමා සඳහන් කරා ඊළඟට එන විසිතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් මම නම් ප්‍රාර්ථනා කරනවා ආණ්ඩුව ආවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා කියලා. ආණ්ඩුව විසින් පත් කරපු ජේෂ්ඨ නීතිඥයකු වන රොමේෂ් ද සිල්වා මහතා අපේ අතටම ගෙනල්ලා දුන්නා මෙන්න අපි හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. බොහෝ වෙලාවට මේ ආණ්ඩුව පත් වෙනකොට කිව්වෙත්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුනෙත්, විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑන මොහොතේ තිබුනෙත්, අනිවාර්යෙන්ම අපේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියන එක. නමුත් එය සිද්ධ වුණේ නැහැ. මම ප්‍රධාන වශයෙන් කියන්නට ඕනේ විශේෂයෙන්ම 2019 මෙම ආණ්ඩුව ආවට පස්සේ විසිවෙනි සංශෝධනය ගෙනාපු වෙලාවේ මම ඡන්දය පාවිච්චි නොකරපු කෙනෙක්. අද අපේ පක්ෂ ඉඳලා ආණ්ඩුවට එකතු වුණ තුන් හතර දෙනෙක් හවස 4ට විතර ගෙදරට ආවා මාව කොහොමහරි උස්සගෙන හරි වාහනයකට දාගෙන හරි එක්කගෙන ගිහිල්ලා කොහොමහරි 20වන සංශෝධනයට ඡන්දය ලබාදෙන්නේ කියලා.

මම විස්සට විරුද්ධ වුණේ දහනමය සම්පූර්ණයෙන්ම අහෝසි වන නිසා මම හිටියේ 19 තවත් ශක්තිමත් කළ යුතුයි කියන තැන. ඒ නිසා විස්සට මම ඡන්දය ලබා දුන්නේ නැහැ. 2015 ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වුණා ස්වාධීන කොමිෂන් සභා බලාත්මක වුණා, මාධ්‍ය නිදහස ශක්තිමත් වුණා, මානව අයිතිවාසිකම් ආරක්ෂා වුණා, මේ වැදගත් දේවල් වඩාත් නිවැරදි විය යුතු යැයි මා විශ්වාස කරනවා.

මේ සංශෝධනයට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ඡන්දය ලබාදෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි, සමහර විට කියන්න පුළුවන් රජය ශක්තිමත් කරන්න අපි ඡන්දය ලබාදුන්නා කියලා. නැහැ ජනතාවගේ පැත්තෙන් ඉතාමත් හොද සංශෝධනයක් කියලා අපි පිළිගන්නවා. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් ඉඳලයි අපි මේ සංශෝධනයට ඡන්දය ලබා දෙන්නේ. ඒ වගේම මේ තත්ත්වය තුළ මේ සංශෝධනවලින් පමණක් රටේ තිබෙන මූලික ප්‍රශ්න විසඳෙන්නේ නැති බව ගරු මන්ත්‍රීතුමනි තමන් වහන්සේලා දන්නවා. එනිසා ගොවියගෙ ප්‍රශ්නය වී මිලදී ගැනීමේ ප්‍රශ්ණය, පොහොර ප්‍රශ්නය, ආර්ථික ප්‍රශ්නය, කුසගින්න පිළිබඳව ප්‍රශ්නය, ජීවන වියදම ද, බඩු මිල ද, මන්දපෝෂණය, පිළිබඳව ප්‍රශ්නය මේ සෑම ප්‍රශ්නයක්ම ව්‍යවස්ථා සංශෝධනයෙන් විසදෙන්නෑ කියන දේ තමයි ජනතාවගේ මතය.

ඔය ව්‍යවස්ථා සංශෝධනයෙන් වැඩක් නැහැ එදිනෙදා අපට තිබෙන ප්‍රශ්න විසඳපල්ලා කියන එකයි ජනතාව ප්‍රකාශකරන්නේ.

ඒ පිළිබඳව රජයට අවධානය යොමු කරමින් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ දූෂණය අවම වෙලා කොමිෂන් සභා ශක්තිමත් වෙලා රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙලා රටට යහපතක් වේවායි කියලා සිතනවා. නමුත් 19න් ගෙනාපු විගණන කොමිෂන් සභාව පසුගිය රජයේන් අහෝසි කිරීම තුල වර්තමාන විගණකාධිපතිතුමා ප්‍රසිද්ධියේම සඳහන් කරා රාජ්‍ය සේවය තුළ සිදුවන දූෂණ වංචා පිළිබඳව අධිකරණයට ගිහිල්ලා කරුණු වාර්තා කිරීමට ලොකු අපහසුතාවක් තිබෙන බව.

සංශෝධන ගේන්න පුළුවන්, පනත් ගේන්න පුළුවන්, කෙටුම්පත් කියන්න පුළුවන්, නමුත් මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ රටට යහපතක් කියන්න පුළුවන් දෙයක් කරන්න කියලා තවත් සංශෝධන වලට වඩා ජනතාව ප්‍රාර්ථනා කරන system change කියන නව පරිවර්තනය සිදු කරමු කියන එක ජනතාව බලාපොරොත්තු වෙන්නේ. නව පරිවර්තනයක් හෙට උපදින දරුවන්ට හොඳ රටක් හදන්න අපි කැපවෙමු ඒ තමයි විය යුත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: