hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 09, පෙ.ව. 10:44



බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා රටක් ආර්ථික වශයෙන් වැටුනොත් එරට සමාජීය, දේශපාලන හා සංස්කෘතිකවශයෙන් කඩාගෙන වැටෙනවා කියලා. ලෝකේ මහා සංස්කෘතීන් එහෙම වැටිලා තියෙනවා. ඉරාකය, ඊජිප්තුව, සිරියාව, ලෙබනනය අද වෙනකොට පකිස්තානයත් කඩාවැටිලා. අපේ රටේ තියෙන්නෙත් ආර්ථික අර්බුදය නිසා හටගත්ත සමාජ දේශපාලන අර්බුදයක්. හැබැයි ඉතිහාසයේ මීට වඩා අර්බුද වලට මුහුණ දුන්න මිනිස්සු යැයි සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (07) කුරුණෑගල, හෙට්ටිපොල පැවති අලුතින් හිතමු, ජාතික සාමූහිකය සම්මන්ත්‍රණය සමග එක්වෙමින් කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ,

ක්‍රි.පූ.89 වන සියවසේ මේ රටේ රාජ්‍යත්වය පස්චෝලින් ඇවිල්ල පැහැර ගන්නවා. තිස්ස බමුණාගේ කැරැල්ල නිසා මහා දැවැන්ත බැමිණිතියා සාගතය එනවා. වළගම්බා රජතුමාට රට පාලනය කරගන්න බැරුව රජකම අත ඇරලා පලා යනවා. අවුරුදු 13ක් වන ලැහැබ්වල, කදුශිකරවල ගඩා ගෙඩි කාල හැදුණ වළගම්බා කුමාරයා කුපික්කලතිස්ස නායක හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් සේනා සංවිධානය කරලා පස්චෝලයන් පරාජය කරලා රාජ්‍යත්වය තහවුරු කරනවා. රට දේශපාලනිකව ස්ථාවර කරනවා. අන්න එහෙමයි අපේ නායකයෝ රට දේශපාලනික ආර්ථික අර්බුද හමුවේ ස්ථාවර කළේ.

මේක තුන් වරක් බුදුන් වැඩම කරපු දේශය , මේ රට කෑලි කෑලි වලට කැඩෙන්න ගිය හැම වෙලාවකම, රට ආර්ථික අර්බුදවලට මුහුණ දීලා බංකොලොත් වෙන්න ගියපු හැම වෙලාවකම ජාතිය පිනට පහළවෙන නායකයෝ ඒ දේශපාලනික ආර්ථික අස්ථාවරත්වයන් ස්ථාවර කරලා රට ඉස්සරහට ගෙනිහිල්ලා තියෙනවා. එනිසා අද අපට ඕන ඒ වගේ ජාතික නායකත්වයක් ඍණ වෙච්ච ආර්ථිකය ධන කරන්න පුළුවන් නායකයෙක්. ඒක පුද්ගල ආදායම වැඩි කරන්න පුළුවන් නායකයෙක්.උද්ධමනය අඩු කරන්න පුළුවන් නායකයෙක්.විරැකියාව තුරන් කරන්න පුළුවන් නායකයෙක්.නවීන තාක්ෂණය හඳුන්වා දෙන්න පුළුවන් නායකයෙක්.කෘෂිකර්මාන්තය විප්ලවයක් කරන්න පුළුවන් නායකයෙක්. ප්‍රචණ්ඩත්වය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන නායකයෙක් තමයි අපේ ලක්මෑණියෝ ඉල්ලන්නේ.

හැබැයි මේ වෙලාවේ සමහරු හදනවා මේ දේශපාලන අස්ථාවරත්වය උපයෝගී කරගෙන රජකම අත්හදා බලන්න. අපේ විපක්ෂනායකතුමා මේ දවස්වල පාසලෙන් පාසලට යනවා ගිහිල්ලා පුංචි කොල්ලෝ කෙල්ලෝ ටිකක් තියාගෙන මම ජනාධිපති උනොත් මේ විදියේ සංවර්ධනයක් කරනවා AI තාක්ෂණය ගේනවා. මේ වගේ මහා සුරංගනා කතා ටිකක් කියනවා. මම අහනවා විපක්ෂනායකතුමාගෙන් මීට අවුරුදු දෙකකට කලින් මැයි 09 වෙනිදා රට ගිනි ගත්ත වෙලාවේ මහින්ද අග්‍රාමාත්‍යතුමා ඉල්ලා අස්වෙලා ගෝඨාභය ජනාධිපතිතුමා මේ අග්‍රාමාත්‍යකම බාරගන්න කිව්වම ඒ අභියෝගය බාර ගන්න බැරි වෙච්ච නායකයා, ඇයි ඒ අභියෝගයෙන් පලාගියේ. සජිත් ප්‍රේමදාස මහත්තයට ඍණ වෙච්ච ආර්ථිකය ධන කරන වැඩපිළිවෙළක් තිබුණේ නෑ. අස්ථාවර වෙච්ච රට ස්ථාවර කරන්න වැඩපිළිවෙලක් තිබුණේ නෑ. තෙල් නැතුව විදුලිය නැතුව ගෑස් නැතුව ගිනි ගත්ත රට සමනය කරන්න දැක්මක් තිබුණේ නෑ . අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා ඇතුළු 22ක් මරලා මුළු රටම ගිනිගන්න වෙලාවේ ඒ ප්‍රචණ්ඩත්වය පාලනය කරලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ආත්ම ශක්තියක් තිබුනේ නැති නායකයෙක් අද ඇවිල්ල කියනවා එයාට රට බාරදෙන්නලු එතුමාට පුළුවන්ලු රට දැන් තියෙන තත්ත්වයෙන් ගොඩගන්න.

අවසානයේ ගෝඨාභය ජනාධිපතිතුමා එදා විපක්ෂනායකතුමාට කිව්වා, සජිත් ඔයා වේදිකාවල ගිහිල්ලා මම ඉරානයෙන් තෙල් ගේන්නම් මං රුසියාවෙන් තෙල් ගේන්නම් මම ඉන්දියාවෙන් බෙහෙත් නිකන් ගේන්නම් මම ජර්මනියෙන් සල්ලි ගේන්නම් කිය කිය කෑ ගහන්න එපා. මේ ආණ්ඩුව භාර භාරගන්න. මම උදව් කරන්නම් පොහොට්ටුවේ සහයෝගය දෙන්නම්. ඒ විතරක් නෙවෙයි ඔයා පළවෙනි මාස තුන මේ රට මේ ආර්ථිකය නිවැරදි දිශාවකට ගෙනිහිල්ලා රටේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරන්න මාස තුනකින් මං ඉල්ලා අස්වෙලා යන්නම් කිව්වා. මෙච්චර කියද්දිත් රටක් බාරගන්න කොන්දක් විපක්ෂනායකතුමාට තිබුණේ නෑ. අද විපක්ෂනායකතුමා ජනාධිපති සිහින දැක දැක වේදිකාවල විහිළු කතා කියනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාවට ඔබ දැනුවත් කරන්න ගම් දනව්වලට ගිහිල්ලා මිනිසුන්ව ඒ වගේ ආත්ම ශක්තියක් නැති නායකයෙක් අභියෝග භාර ගන්න බැරි නායකයෙක්ට මේ රටේ අනාගතයේ භාරදෙන්න අපි සූදානම් නෑ කියන එක.

ඒ විතරක් නෙවෙයි මම දැක්කා අපේ ෆේස්බුක් ජනාධිපතිතුමා අනුර දිසානායක මහත්තයා කියනවා. රටේ දේශපාලන අස්ථාවරත්වය විසඳන්නේ නැතුව රටේ ආර්ථික අස්ථාවරත්වය විසඳන්න බැහැලු. මම අහනවා එදා වැව් හෑරුවද..නෑ..දහසක් මහ වැව් කියලා නමක් විතරයි තිබුණේ එක හාරපු වැවක් නෑ. විජිත හේරත් මහත්තයා සංස්කෘතික ඇමති විදියට මොනවද කළේ, රටේ ධීවර කර්මාන්තය වෙනුවෙන් ගලප්පත්ති මහත්තයා මොනවද, අධිෂ්ඨානයේ පුරවරය වෙච්ච තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාවත් කරන්න බැරි වෙච්ච කට්ටිය අද ඇවිල්ල කියනවා රටේ දේශපාලන පරිවර්තනයක් කරලා ආර්ථිකය හදනවලු.

ජවිපෙ අද ආයෙත් වර්ජන රැල්ලක් ගෙනැල්ලා. පහුගිය දෙසතියකට කලින් මේ රටේ දවස් දෙකක් පාසල් වැහුවා. මේ වර්ජන වලින් මහින්ද ජයසිංහලට, ජෝෂප් ස්ටාර්ලින්ලට පාඩු වෙන්නේ නෑ. ඔවුන් නැති කරන්නේ අපේ දරුවන්ගේ අනාගතය තමයි ඒ විනාශ කළේ. ඒ වගේම රාජ්‍ය සේවක දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැදවලා මේ මොකක්ද කරන්න හදන්නේ..සංචාරකයෝ එන රටක සංචාරකයන් නොඑන තැනට පත් කරන්න, 2.2% වෙච්ච ආර්ථික වර්ධන වේගය වට්ටන්න හදන්නේ. උද්ධමනය 9% දක්වා අඩු වෙච්ච රටක නැවත උද්ධමනය වැඩි කරන්න, නැවත රට අස්ථාවර කරන්න හදන්නේ.

මගේ ළග සංඛ්‍යා ලේඛන තියෙනවා 2020 අවුරුද්දෙ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ වැඩ වර්ජන විසිඅටක් කරලා තියෙනවා. ඒ වැඩවර්ජන නිසා වැඩ කරන පැය හයදහස් එකසිය විසිපහක් රටට අහිමි වෙලා තියෙනවා. 2021 වර්ෂයේ වැඩවර්ජන දාහතයි. අහිමි වෙච්ච වැඩ කරන පැය ගණන අටදහස් අටසිය හැත්තෑ දෙකයි. මේ දේවල් නිසා තමයි අපි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ආර්ථික අර්බුදයට වගකියන්න ඕන කියලා.

එදා හඳුන්නෙත්තිගේ ලාල්කාන්තගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවත් අත්පත් කරගත්ත නම් රට පාලනය කරන්නේ මුදලිගේලා, ලහිරුලා, රැට්ටලා බැට්ටලා, දැන් අලුත් සන්ධානයක් හදලා අරගල සන්ධානය කියලා අපි අහනව ලහිරුගේන් අපි අහනවා මුදලිගේගෙන් අරගලකාරයෝ හදපු ලෝකේ එක රටක් කියන්න. අරගලකාරයන්ට පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් ශක්තිමත් සංස්කෘතියක් තියෙන රටක් වට්ටන්න විතරයි හදන්න බෑ ඊජිප්තුවට උනේ ඒකයි. අරාබි වසන්තය ගෙනල්ලා ගෙනැල්ලා ඊජිප්තුව, සිරියාව, ලිබියාවථ ඇෆ්ගනිස්ථානය වැට්ටුවා අදටත් ඒ රටවල් ගොඩගන්න බෑ.

ඒ වගේම තමයි මේ අස්ථාවරත්වය හමුවේ තවත් දේශපාලන සන්ධානයක් ගොඩනැගිලා තියෙනවා. මම ඒක හඳුන්වන්නේ ජාතිකවාදී රොටී සන්ධානය කියලා ගෝඨාභය ජනාධිපතිතුමාට ගෙදර යවන්න පාර කපපු ඇමතිවරු කීපදෙනෙක් දැන් ඇවිල්ලා එක එක තැන්වල රැස්වීම් තියලා හැට නම ලක්ෂයේ ජනවරමේ අයිතිය ඉල්ලනවා. එදා තෙල් ටික කළමනාකරණය කර කරගත්ත නම්, විදුලි අර්බුදය කළමනාකරණය කරගත්තේ රට මෙතනට තල්ලු වෙන්නේ නෑ. අරගලය නිර්මාණය වෙන තැනට පාර කැපුවේ ඔය ජාතිකවාදී කියා ගන්න ඇමතිවරු තමයි.

ඒ වගේම සර්වජන බලයේ නොනිල නායකයා., ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අතිජාත මිත්‍රයා නිසා ගෝඨාභය ජනාධිපතිතුමා කොතරම් අපකීර්තියට පත්වුණා ද. මේ නඩේ තමයි අලුත් බලවේග හදලා තියෙන්නේ. මම කියනවා ඒ බල වලට රට බාරදුන්නොත් නැවත වතාවක් රටට අබසරණයි කියලා. මේ වෙලාව අපි කෙමෙන් කෙමෙන් ගොඩඑමින් ඉන්න වෙලාවක්, ලෝක බැංකු වාර්තා වලට අනුව ආර්ථික වර්ධන වේගය 2.2%ක ප්‍රශස්ත මට්ටමක තියෙන වෙලාවක තමයි අපට මේ මැතිවරණයට මුහුණ දෙන්න වෙන්නේ. එනිසා අපට රැට්ටලා, මෝටිවේෂන්ලා, ළහිරුලා, මුදලිගේලා වගේම මාළිමාව විදිහට එන ජවිපෙත් එපා, ජාතිකවාදී කියලා එන රොටි සන්ධානයත් එපා. අපිට අභියෝග භාරගන්න බැරි දැන් කටින් බතල හිටවල විපක්ෂනායකවරයත් එපා.රටේ සෘණ ආර්ථිකය ධන කරපු, උද්ධමනය අඩු කරපු, බැංකු ණය පොලී ප්‍රතිශත අඩු කරපු, රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරපු වත්මන් ජනාධිපතිවරයාත් එක්ක අපි ඉදිරියට යන්න එකතුවෙන්නැයි ඉල්ලා සිටිනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.