hit counter

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි 13, ප.ව. 4:30



දින විසි නවයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුව ඇප මත මුදා හැරුණු බලංගොඩ කස්සප හිමියන් විසින් රජය, පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් බරපතළ චෝදනා කිහිපයක් එල්ල කර ඇත.

ඒ කොළඹ බෞද්ධ මහා සම්මේලනයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදීයි.

ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාවකට ආවරණයක් ඉදිකිරීමේ සිදුවීමක් මුල් කරගනිමින් තමන් ඇතුළු උපසම්පදා භික්ෂූන් වහන්සේලා සිව්නමක් ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට පත්වූ බවත්, එහිදී පොලිසිය සිවුරු ගැලවෙන තුරු තම පිරිසට පහර දුන් බවත් උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළා.

එසේම එම පහරදීම් හේතුවෙන් තමන්ට රෝහල්ගත වීමට පවා සිදුවූ බව පවසන කස්සප හිමියෝ, බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව එහි ඉහළ නිලධාරියෙකු ද තමන්ට තර්ජනය කළ බවත් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ඉදිකිරීම ආරම්භ කළ අවස්ථාවේදී ත්‍රිකුණාමලය වරාය පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරයා (SSP) ද පැමිණ වෙරළ සංරක්ෂණ අධිකාරියේ පැමිණිල්ලක් පවතින බව පවසමින් ඊට බාධා කළ බවයි.

එහිදී එය කඩා ඉවත් කිරීමට අවශ්‍ය නම් අධිකරණ නියෝගයක් රැගෙන එන ලෙස තමන් ඔවුන්ට දැනුම් දුන් බවත්, අනතුරුව එක් මන්ත්‍රීවරයෙකු පැමිණ ඉදිකිරීම් කරගෙන යන ලෙස පැවසුවද, සවස වෙනත් මන්ත්‍රීවරයෙකු සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ පැමිණ එය වහාම නතර කරන ලෙසට බලපෑම් කළ බවත් කස්සප හිමියෝ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, රාත්‍රී කාලයේදී කැරලි මර්දන ඒකකය ද ඇතුළුව පොලිස් නිලධාරීන් දෙසීයක් පමණ පැමිණ විහාරස්ථානයේ කම්බි වැට කපාගෙන ඇතුළු වී බුදු පිළිමය රැගෙන ගිය බවත්, මුතුකුඩය කඩා සුඛිතවංශ හිමියන්ට මෙන්ම තමන්ට ද පහර දුන් බවත් උන්වහන්සේ චෝදනා කර සිටියා.

එහිදී දායක සභාවේ භාණ්ඩාගාරිකවරිය රුපියල් පනස්දහසක මුදලක් ලබාදෙමින් පහරදීම නතර කරන ලෙස අයැද සිටියද පොලිසිය ඊට කන් නොදුන් බවත්, රෝහල්ගත වීමෙන් අනතුරුව රජයේ ප්‍රබලයෙකු දුරකථනයෙන් අමතා මෙය සමථයකට පත්කර ගැනීමට උත්සාහ කළද තමන් එම සටන පාවා නොදුන් බවත් උන්වහන්සේ සිය මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කර සිටියා.

“කම්බි වැට කපාගෙන ඇවිල්ලා අපිට පහර දීලා බුදුපිළිම පැහැරගෙන යනවා. අපේ ඇඟෙන් ලේ වැක්කෙරෙනවා සිවුර ගැලවෙනකල් අපිට පහර දෙනවා. මුතු කුඩය කඩලා ගහනවා අපේ සුඛිතවංශ හාමුදුරුවන්ට මේ පළාතම ඉදිමෙන්න. හොස්පිටල් ඇඩ්මිට් වුණාට පස්සේ ටිල්වින් මහත්තයා දුරකථන ඇමතුමක් දීලා අපිට කියනවා මේ විදිහට මේක විසඳගමු කියලා හැබැයි අපි සටන් පාවා දෙන්නේ නෑ. අවසානයේදී පහර දීලා අපි හොස්පිටල් එකේ ඉන්නකොට සුනිල් වටගල මහත්මයා යම් කෙනෙක් හරහා කියනවා ලෙටර් හෙඩ් එකයි සීල් එකයි අරගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න කියලා. මේ ඉඩම මොකක් හරි දේකට ඉන්දියානු ව්‍යාප්තවාදයකට පාවිච්චි කරන්න. අපි යටත් වුන් නෑ. අපි හිරේට යනවා ගියාට පස්සේ එතන ඉන්නවා වධකයෙක්. යම්තාක් මිහිපිට බන්ධනාගාර තියෙනවනම් ත්‍රිකුණාමලය කියලා කියන්නේ වධකාගාරයක්…..එස්පී මහත්තයා මට බන්ධනාගාරයේදී තර්ජනය කළා එළියට ගියාට පස්සේ උඹ මට කරයි කියලා..”   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: