hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2026 පෙබරවාරි 16, පෙ.ව. 12:18



වර්තමාන මනුෂ්‍ය සමාජයට සිදුවී ඇති විශාලම විනාශය පවුල් ජීවිත බිඳ වැටීමේ ක්‍රමවේදය බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරති. 

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ කළුතර ලූර්දු මාතා දේවස්ථානයේ 117 වන වාර්ෂික මංගල්‍ය මහා මහෝත්සවයට සහභාගී වෙමින් පවත්වන ලද දේශනයකදීය.

ශ්‍රී ලංකාව තුළ පවුල් සංස්ථාව බිඳ වැටීම අද වන විට ඉතා භයානක අන්දමින් පැතිර යන වසංගතයක් බවට පත්වී ඇති බව උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ. 

කිසිදු තේරුමක් නොමැතිව, හුදෙක් හැඟීම්වලට, රූපයට හෝ පෙනුමට පමණක් වහල් වී විවාහ වන බොහෝ දෙනෙකු කෙටි කලකින් එම බැඳීම් අතහැර දමන තත්ත්වයක් අද වන විට රට තුළ ජනිත වෙමින් පවතින බව ද උන්වහන්සේ සඳහන් කළහ.

විවාහ ජීවිතය යනු සෙල්ලමක් නොවන බවත්, එය සමාජයේ පදනම බවත් පෙන්වා දුන් කාදිනල් හිමිපාණන්, සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම තුළින් මුළු මහත් සමාජයම ශක්තිමත් වන බව ප්‍රකාශ කළහ. 

පවුල යනු සමාජයේ කුඩාම ඒකකය බවත්, කතෝලික සභාව තුළ පවුල හඳුන්වන්නේ කුඩා සභාව ලෙස බවත් උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ.

“අද කාලේ වෙලා තියන විශාලම විනාශය තමයි මේ පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ක්‍රමවේදය. අද ශ්‍රී ලංකාව තුළත් මෙය ඉතාමත් භයානක අන්දමින් පැතිරීගෙන යන වසංගතයක් බවට පත්වෙලා තිබෙනවා. ඉතාමත්ම තේරුමක් නැති විදිහට හුදෙක් හැඟීම්වලට, රූපයට, පෙණුමට, සිනහවට පමණක් වහල්වෙලා විවාහ වෙලා ටික කලකින් එය අතහැර දමන යුවල් බොහොමයක් අද ශ්‍රී ලංකාව තුළ ජනිත වෙමින් පවතිනවා. කිසිම අර්ථයක් නැතිව විවාහ ජීවිතය සෙල්ලමකට ගන්න තත්ත්වයක් අද ලංකාව තුළ පවතිනවා. 

විවාහ ජීවිතය කියන්නේ සමාජයේ පදනම. සාර්ථක විවාහ ජීවිතයක් ගත කළොත්, සාර්ථක පවුල් ජීවිතයක් ගත කළොත් පවුල තමයි සමාජයේ කුඩාම ඒකකය. කතෝලික සභාව කියන්නේ කුඩාම ඒකකය තමයි පවුල කියලා. ඉතිං පවුල ශක්තිමත් නම් සමාජය ශක්තිමත් වෙනවා, පවුල් ජීවිතය ශක්තිමත් නම්, පවුල් ජීවිතය භක්තිවන්ත නම් කතෝලික සභාව භක්තිවන්න ආයතනයක් වීමේ හැකියාව පවතිනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: