hit counter

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් 23, පෙ.ව. 12:17



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තැන්තැන්වල අසත්‍ය ප්‍රකාශ නොකොට ඒ ගැන තමන් සමග විවාදයකට පැමිණෙන ලෙස හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සිරිල් ගාමිණී පියතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

සිරිල් ගාමිණී පියතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ ගැන බරපතල සැකයක් මතුව තිබෙන බව උදය ගම්මන්පිල අවධාරණය කරයි.

උදය ගම්මන්පිල විසින් රචිත “පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයායෑම” කෘතිය මහා සංඝරත්නය වෙත පිළිගන්වමින් තවදුරටත් කියා සිටියේ උද්ගතව ඇති කරුණු සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම තුළින් සත්‍යය රටේ ජනතාවට අවබෝධ කර දීමට අවස්ථාවක් උදාවන බවයි.

එසේ නොමැතිව තැන තැන අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම මගින් සිරිල් ගාමිණී පියතුමා සිදු කරන්නේ කතෝලික හා බෞද්ධ ජනතාව අතර භේදයක් ඇති කිරීම බව පවසන ඒ මහතා ජාත්‍යන්තරයේ ඇතැම් බල වේගවලටද අද උවමනා කර තිබෙන්නේ එවැනි තත්ත්වයක් ඇති කිරීම බව පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝකයේ සිටින විශිෂ්ටතම ආයතන දීර්ඝ කාලයක් පරීක්ෂණ පවත්වා කරුණු හෙළි කරගෙන තිබෙන බවත් එමඟින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය හඳුනා ගනිමින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබියදී ඇතැම් පාර්ශaව සත්‍යය යට ගැසීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවටද හෙතෙම චෝදනා කළේය.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සාරාන් හෂිම් බව තහවුරු වී තිබියදී එම ප්‍රහාරය රණවිරුවන් විසින් සිදුකළ බවට අසත්‍ය ප්‍රචාරයක් සැලසුම් සහගතව දියත් කරමින් සිටින බව ගම්මන්පිල පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ මුල්ම සැලසුම වී තිබුනේ 2019 වසරේ නිදහස් උත්සවයට ප්‍රහාරයක් එල්ල කර රාජ්‍ය නායකයන් හා ත්‍රිවිධ හමුදා නායකින් ඝාතනය කිරීම බවත්, එය වැළකුණු පසු ඔවුන්ගේ ඊළඟ සැලසුම වී තිබුණේ දළදා පෙරහරට අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල කිරීමත් බවත් ඔහු තව දුරටත් අනාවරණය කළේය.