2026 ජූනි 04, ප.ව. 3:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිවිල් සේවකයින් සඳහා ස්ථිර පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි 01 වන දින කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී පැවති අතර, යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ විසින් පිළිගනු ලැබීය.
මෙහිදී වසර ගණනාවක් පුරා තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සිවිල් සේවකයින් 826 දෙනෙකුගේ වටිනා දායකත්වය අගයමින්, ඔවුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්ථිර සිවිල් සේවක සංචිතයට අනුයුක්ත කිරීම නිල වශයෙන් සිදුකෙරිණි.
උත්සවය අමතමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයින් දිගුකාලීනව මුහුණ දුන් රැකියා අනාරක්‍ෂිතභාවයට විසඳුම් සෙවීම සඳහා රජයේ ප්‍රතිපත්ති රාමුවට සහ 2026 අයවැය යෝජනාවලට අනුකූලව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බවයි. මෙලෙස ප්‍රතිලාභ ලැබූ බොහෝ දෙනෙකු සිය රැකියාවේ ස්ථිරත්වයක් නොමැතිව වසර ගණනාවක් සේවය කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා , මෙම පත්වීම් ලබා දීම සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට රැකියා සුරක්‍ෂිතතාවය සහ ස්ථාවරත්වය ළඟා කර දෙමින් සමාජ හා ආර්ථික සාධාරණත්වය ඉටු කිරීම උදෙසා තැබූ වැදගත් පියවරක් ලෙස ද හැඳින්වීය.
විශේෂයෙන්ම යුද සමයේදී සහ පශ්චාත් යුද සමයේ මව්බිම ගොඩනැගීමේ ක්‍රියාවලියේදී යුද්ධ හමුදාවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා සිවිල් කාර්ය මණ්ඩලය ලබා දුන් අමිල දායකත්වය ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. සිවිල් සේවකයින් යනු යුද්ධ හමුදා සංවිධානයේම අනිවාර්ය කොටසක් බව අවධාරණය කළ ඒ මහතා, කැපවීමෙන්, වෘත්තීය මට්ටමෙන් සහ අවංකභාවයෙන් යුතුව අඛණ්ඩව සේවය කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. තවද, සාධාරණ වැටුප්, දීමනා, වෛද්‍ය පහසුකම් සහ අනෙකුත් ප්‍රතිලාභ ඇතුළුව ඔවුන්ගේ සුභසාධනය ඉහළ නැංවීමට රජය බැඳී සිටින බව යළිත් සහතික කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවාසී ජනතාව තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්‍ෂා කරන ලෙස සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ඇතුළු යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ සිවිල් පරිපාලන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
2026 ජූනි 04, ප.ව. 3:26
2026 ජූනි 04, ප.ව. 2:33
2026 ජූනි 04, ප.ව. 1:08
2026 ජූනි 04, ප.ව. 1:06
2026 ජූනි 04, පෙ.ව. 11:10