hit counter

2026 ඔක්‍තෝබර් මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 29, ප.ව. 12:46



රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 112 දෙනෙකු රටවල් 13ක සැඟව සිටින බව හඳුනාගෙන ඇති බවත්, එම සැකකරුවන් සහ සැකකාරියන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගනිමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය.

“රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (29) පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අදාළ අපරාධකරුවන් 2027 වසර වන විට මෙරටට ගෙන්වා ගැනීමට හැකි වනු ඇති බවත්, ඉන් අනතුරුව ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම අපරාධකරුවන් නීති විරෝධී ලෙස මුදල් උපයන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඔස්සේ බව පෙන්වා දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, එම නීති විරෝධී මුදල්වලින් උත්පාදිත දේපොළ සම්බන්ධයෙන් පොලීසියේ විශේෂ කොට්ඨාස දෙකක් හරහා පැය 24 පුරාම විමර්ශන සිදු කරන බවද ප්‍රකාශ කළේය.

රජය සතු කර ගැනීමට සැලසුම් කර ඇති දේපොළ වටිනාකම්:

2024 වසර: රුපියල් මිලියන 1,490ක දේපොළ

2025 වසර: රුපියල් මිලියන 1,549ක දේපොළ

2026 වසර (ඊයේ දින වන තෙක්): රුපියල් මිලියන 1,656ක දේපොළ

මෙම දේපොළ අතරට රන් ආභරණ, ඉඩකඩම්, යානවාහන සහ මුදල් අයත් වේ.

මත්ද්‍රව්‍ය වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම්

පසුගිය වසර දෙකක කාලය තුළ සහ 2026 වසරේ මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොග:

හෙරොයින් – කිලෝ 4,483ක් (වටිනාකම රුපියල් බිලියන 107.942ක්)

අයිස් මත්ද්‍රව්‍ය – කිලෝ 7,129ක් (වටිනාකම රුපියල් බිලියන 121.64ක්)

ගංජා – කිලෝ 33,277ක් (වටිනාකම රුපියල් බිලියන 5.293ක්)

කොකේන් – කිලෝ 333ක් (වටිනාකම රුපියල් බිලියන 14.306ක්)

පවතින නීති ප්‍රකාරව අයිස්, හෙරෝයින් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම, සන්තකයේ තබා ගැනීම, වෙළඳාම, ජාවාරම හෝ නිෂ්පාදන කටයුතුවල යෙදී සිටියදී අසුවුවහොත්, මහාධිකරණ නඩු කටයුතුවලින් පසු අදාළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම හෝ මරණ දඬුවම නියම වන බව වුට්ලර් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

“රටම එකට” ජාතික මෙහෙයුමේ පසුගිය වසරේ ප්‍රගතිය

2025 ඔක්තෝබර් මස ආරම්භ වූ “රටම එකට” ජාතික මෙහෙයුමට මේ වන විට වසරක් ගත වී ඇති අතර, එම වසර තුළ පොලිස් භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය.

හෙරෝයින් – කිලෝ 2,835යි ග්‍රෑම් 682ක්

අයිස් – කිලෝ 3,550යි ග්‍රෑම් 750ක්

කොකේන් – කිලෝ 297යි ග්‍රෑම් 135ක්

ගංජා – කිලෝ 11,167යි ග්‍රෑම් 569ක්

එමෙන්ම, පසුගිය වසර පුරා විවිධ අපරාධවලට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයින් 5,743 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන්ගෙන් 450 දෙනෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙමින් පවතී.

මෙම අපරාධ මැඩලීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලීසියට විශාල අභියෝගයක් වුවද, ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ දැඩි සහයෝගය නිසැකව ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: