hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2026 ජූනි 07, ප.ව. 3:47



හිටපු බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ රඳවා තබාගෙන සිටින ආකාරය පිළිබඳව පොලිසිය මහජනතාව නොමඟ යවමින් සිටින බවට හිටපු අධිකරණ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි චෝදනා කරයි.

තම Facebook ගිණුමේ සටහනක් තබමින් අලි සබ්‍රි පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ පසුවන්නේ අධිකරණ භාරයේ නොව, විධායක බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නිකුත් කරන ලද රැඳවුම් නියෝග මත බවයි.

“සුරේෂ් සලේ පසුවන්නේ අධිකරණ භාරයේ නෙවෙයි. ඔහුව රඳවාගෙන ඉන්නේ විධායකය විසින්, ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනරජයේ ජනාධිපතිවරයායි. පොලිසිය මහජනතාව නොමඟ යවනවා,” යනුවෙන් අලි සබ්‍රි ප්‍රකාශ කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා සිටින සුරේෂ් සලේ, එහි සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බවට වාර්තා වන පසුබිමක හිටපු අධිකරණ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2026 පෙබරවාරි 25 වැනිදාය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ 2019 අගභාගයේදී රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ලෙස පත් වූ සලෙයි, 2024 ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු එම ධුරයෙන් ඉවත් කරනු ලැබීය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ අවස්ථාවේදී ද අලි සබ්‍රි මහතා ඊට දැඩි විවේචන එල්ල කළ අතර, මෙම විමර්ශන හුදෙක් “මහජන සංදර්ශනයක්” සහ “ජනතාව නොමඟ යැවීමට හෝ බෙදා වෙන් කිරීමට කරන ලද රංගනයක්” ලෙස හඳුන්වා දුන්නේය.

සුරේෂ් සලෙයි දැනට දින 100කට අධික කාලයක් රඳවා තබාගෙන සිටින අතර, තමන්ට සිදුවන අසාධාරණයට එරෙහිව ඔහු මාරාන්තික උපවාසයක් (fast unto death) ආරම්භ කර ඇති බව ඔහුගේ නීතිඥයින් සහ විපක්ෂ දේශපාලනඥයින් පවසයි.