hit counter

2026 ජූලි මස 04 වන සෙනසුරාදා

2026 ජූලි 05, පෙ.ව. 12:07



මෙරට ළමා පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ජාතික ළමාරක්ෂක අධිකාරියේ සමස්ත කාර්ය මණ්ඩලය තුළ නිලධාරීන් 300කට ආසන්න බරපතළ පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව අනාවරණය වී තිබේ.

එම අධිකාරියේ ප්‍රධාන මූලස්ථානය මෙන්ම දිවයින පුරා විහිදී පවතින පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල පද්ධතියේ නිසි පරිදි රාජකාරී කටයුතු පවත්වාගෙන යාම සඳහා සේවකයන් 600ක බලකායක් සිටිය යුතු වුවද, දැනට එහි සේවය කරනු ලබන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් අඩක් වැනි සීමිත පිරිසකි.

ඒ අනුව, පරිපාලන නිලධාරීන්, දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරීන්, දිස්ත්‍රික් මනෝවිද්‍යා නිලධාරීන්, ගිණුම් සහායකයන් මෙන්ම සහකාර උපදේශකවරුන් වැනි ක්ෂේත්‍ර රැසක තනතුරු රැසක් මෙලෙස දීර්ඝ කාලයක සිට පුරප්පාඩුව පවතී.

ශ්‍රී ලංකාව තුළ සිදුවන ළමා අපයෝජන වැළැක්වීම, බාලවයස්කාර දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ ළමා හිංසනයන්ට එරෙහිව ක්‍රියාත්මක වන විවිධ ආයතනවල කාර්යභාරයන් සම්බන්ධීකරණය මෙන්ම නියාමනය කිරීම මෙම අධිකාරිය සතු මූලික වගකීම වේ.