hit counter

2026 ඔක්‍තෝබර් මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:31



 රටේ නීතිය තරාතිරම නොබලා සැමට සමානව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය බැඳී සිටින බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ කෙතරම් දරුණු ලෙස අපහාස උපහාස එල්ල වුවද ජනවරම මඟින් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමේ ගමන කිසිසේත් නතර නොකරන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලීන අනියම් හා ආදේශක සේවකයන් පිරිසකට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුන් විසින් ඉදිරිපත් කරන ලද විශේෂ සංදේශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ, අදාළ ලිපිය සියලු පාර්ශ්වයන් ඉතා හොඳින් කියවා තේරුම් ගත යුතු බවයි. රටේ පවතින නීතිය පුද්ගලයන්ගේ තරාතිරම බලා ක්‍රියාත්මක කළ නොහැකි බවත්, නීතිය සැමට සාධාරණව ඉටුකිරීම සඳහා ජනතාව ලබාදුන් ජනවරමට පිටින් ගොස් කිසිදු ඉල්ලීමක් සිදු නොකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂය සහ විවිධ පාර්ශ්ව එල්ල කරන විවේචන පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම කෙටුම්පතක් සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට, පෙත්සම් ඉදිරිපත් කිරීමට මෙන්ම අදහස් පළකිරීමට ජනතාවට පූර්ණ අයිතිය පවතින බව සඳහන් කළේය. 

රජය කිසිවිටෙකත් ජනතා මතය නොසලකා කටයුතු නොකරන අතර, වත්මන් පාලනය බලයට පත්වූයේම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට බව පැවසූ ඒ මහතා, ජනාධිපතිවරයා සතු අභිමතය පරිදි සිරකරුවන්ට සමාව දීමේ ක්‍රමවේදය පවා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බැවින් එය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ප්‍රකාශ කළේය.

රජයට එරෙහිව එල්ල වන විවේචන සහ සමාජ මාධ්‍ය ප්‍රහාර පිළිබඳව සඳහන් කරමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අද බලන්න අපිට කොච්චර බනිනවද, කුණුහරුපෙන් කොච්චර අපහාස කරනවද, ෆේස්බුක්වල කොච්චර ගහනවද කියලා. හැබැයි අපි ඒ කිසිවක් ඇහුණේ නෑ වගේ අපේ ප්‍රතිපත්තිමය වැඩකොටස කරගෙන යනවා. විවිධ යූටියුබ් නාලිකා හෝ පුද්ගලයන් කියන දේවල් පස්සේ දුවන්න අපිට වෙලාවක් නෑ. අපේ එකම අරමුණ ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමයි.”

මේ අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපොළවල වසර 10 සිට 13 දක්වා කාලයක් ඉතා දුෂ්කර කොන්දේසි යටතේ සේවය කළ, වයස අවුරුදු 50 ඉක්මවූ සේවකයන් පිරිසක් ස්ථිර සේවයට එක්කර ගැනීමට ලැබීම විශාල සතුටක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු ක්‍රමිකව සම්පූර්ණ කරමින්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා ඉහළ නංවා ශක්තිමත් රාජ්‍ය සේවයක් බිහිකිරීම රජයේ ප්‍රමුඛ ඉලක්කය බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: