hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18



තැපැල් දෙපාර්තමේන්තුවේ 2004 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සිදුව ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) විශේෂ අවධානය යොමු කර ඇත.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් අප්‍රේල් 07 වැනිදා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ තැපැල් දෙපාර්තමේන්තුවේවර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම කාරක සභාව පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

සුළු ස්වභාවයේ සිදුවීම් වෙනුවෙන් දීර්ඝ විමර්ශන පවත්වා සම්පත් වැය කිරීම වෙනුවට, වැදගත් මූල්‍ය වංචා සහ බරපතළ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද එම කාරක සභාවේදී අවධාරණය කර ඇත. තවද, ඇතැම් විමර්ශන වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, චෝදනා ලැබූ ඇතැම් පුද්ගලයන් අතුරුදන් වීම හෝ මියයාම හෝ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සහ විමර්ශන අංශයේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහි විමර්ශන සහ විනය ක්‍රියාමාර්ග නියමිත කාලසීමාවක් තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව අවධාරණය කළ අතර එමෙන්ම, විමර්ශන අවසන් කර අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අයකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.

මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා කළමනාකරණය විධිමත් කිරීම සම්බන්ධයෙන් සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් පළාත් නවයම සහ මධ්‍යම තැපැල් හුවමාරුව ආවරණය වන පරිදි සිදු කළ වැඩ අධ්‍යයනය මත පදනම්ව ප්‍රශස්ත සේවක සංඛ්‍යාවක් හඳුන්වා දීමට කටයුතු කරන බව නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: