hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:14



විදේශගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා හඳුන්වා දෙන “එතෙර දිරිය” නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම 2026 සැප්තැම්බර් 10 වැනිදා එනම් අද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කිරීමට නියමිතය.

මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ “එතෙර දිරිය” නිවාස ණය යෝජනා ක්‍රමය සඳහා ප්‍රවේශ වීමට විදේශගත ශ්‍රමිකයින්ට අවස්ථාව හිමි වේ.

විදේශගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන විදේශගත ශ්‍රමිකයින්ට රුපියල් 500,000 සිට රුපියල් මිලියන 10ක් දක්වා නිවාස ණය ලබාගැනීමට අවස්ථාව හිමිවන අතර, එම ණය මුදල උපරිම වසර 10ක කාලයක් තුළ ආපසු ගෙවීමට හැකියාව පවතී.

මෙම යෝජනා ක්‍රමයේ විශේෂත්වය වන්නේ, අනුමත ප්‍රතිපූරණ ආකෘතියට අනුව ණය පොලියේ කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් ප්‍රතිපූරණය කිරීමයි. ඒ වෙනුවෙන් 2027 වර්ෂයට රුපියල් මිලියන 126 මුදලක් වෙන් කර තිබේ. ණය සඳහා සැලකිල්ලට ගනු ලබන උපරිම ණය පොලී අනුපාතය වාර්ෂිකව 15%ක් වන අතර, 15% ඉක්මවා බැංකුව විසින් අය කරනු ලබන අවස්ථාවකදී වැඩිවන පොලී මුදල ණයලාභියා විසින් දැරිය යුතු වේ.

ණය යෝජනා ක්‍රමය යටතේ ණය අයදුම් කිරීම අදාළ සහභාගී බැංකුව හරහා සිදු කෙරෙන අතර, බැංකුව විසින් අයදුම්කරුගේ සුදුසුකම්, ණය ආපසු ගෙවීමේ හැකියාව, ණය විශ්වසනීයත්වය සහ ඇපකර අවශ්‍යතා ඇගයීමට ලක් කරනු ඇත. ණය අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ අවසන් තීරණය අදාළ බැංකුව විසින් ස්වාධීනව ගනු ලබයි.

මූලික වශයෙන් අනුමත කරන ලද අයදුම්පත් SLBFE වෙත යොමු කිරීමෙන් අනතුරුව, අයදුම්කරුගේ SLBFE ලියාපදිංචිය, විදේශ රැකියා තත්ත්වය, විදේශ ප්‍රේෂණ සහ යෝජනා ක්‍රමය සඳහා වන සුදුසුකම් SLBFE විසින් තහවුරු කරනු ඇත.

ණය අනුමත කිරීම, ණය නිකුත් කිරීම සහ ණය ආපසු අයකර ගැනීම අදාළ බැංකුවේ වගකීම වන අතර, SLBFE විසින් අනුමත කොන්දේසි සහ සුදුසුකම් යටතේ පොලී ප්‍රතිපූරණය කිරීම සිදු කරනු ඇත.

තවද, බැංකු විසින් සෑම මාස හයකට වරක් ණය ආපසු ගෙවීම් තහවුරු කිරීම්, පොලී ගණනය කිරීම් සහ ප්‍රතිපූරණ ඉල්ලීම් SLBFE වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එම ඉල්ලීම් SLBFE විසින් සත්‍යාපනය කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රතිපූරණ මුදල් ණය ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කෙරේ.

විදේශගත ශ්‍රමිකයින්ගේ නිවාස සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් හඳුන්වා දෙන “එතෙර දිරිය” නිවාස ණය යෝජනා ක්‍රමය, විදේශගත ශ්‍රමිකයින්ට තම විදේශ රැකියා ආදායම උපයෝගී කරගනිමින් නිවාස ඉදිකිරීමට හෝ නිවාස අවශ්‍යතා සපුරා ගැනීමට සහනදායී මූල්‍ය පහසුකමක් ලබාදීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනකි.

2026 සැප්තැම්බර් 10 වැනිදා සිදු කෙරෙන මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ විදේශගත ශ්‍රමිකයින්ට මෙම ණය යෝජනා ක්‍රමයට ප්‍රවේශ වීමේ අවස්ථාව නිල වශයෙන් විවෘත වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: