hit counter

2026 සැප්‍තැම්‍බර් මස 11 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:19



කුඩා ගැහැනු දරුවන්ගේ අත් අල්ලාගෙන සිටින ආකාරය දැක්වෙන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් ඔහු BBC සිංහල සේවයට පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අලුතින් ඉදිකළ නිවාස විවෘත කිරීමේ උත්සවවලදී දරුවන් තමන්ට බුලත් ලබාදී වැඳීමට උත්සාහ කළ අවස්ථාවලදී එය වැළැක්වීමට ඔවුන්ගේ අත් අල්ලා ඉවත් කළ බවයි.

දේශපාලනඥයන්ට දරුවන් වැඳීම අවශ්‍ය නොවන බවත්, දරුවන් තම දෙමාපියන්ට වැඳිය යුතු බවත් ඔහු එම දරුවන්ට පවසා සිටි බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම,නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙන්නේ, නිවාස විවෘත කිරීමේ අවස්ථාවලදී පාසල් දරුවන් සමඟ ඔවුන්ගේ නව නිවාස සහ පාසල් ජීවිතය පිළිබඳව සුහදව කතාබහ කරන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන ඇතැම් විවේචන දේශපාලන දෘෂ්ටිකෝණයකින් සිදුකර ඇති බවටද ඔහු සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ළමා ආරක්ෂාව සහ ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සංවිධාන පෙන්වා දෙන නීතිමය කරුණු පිළිගන්නා බවද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

“ඔය දරුවා, බුලත් අත දෙනවා, බුලත් අත දීලා, දරුවාගේ බුලත් අත මම ගන්නවා, අරගෙන දරුවා මට ඊළඟට වඳින්න හදනකොට, මම වඳින්න එපා පුතේ කියලා, අත් දෙකෙන් උස්සනවා. 

මගේ එහා පැත්තේ හිටපු දෙන්නට ඒ දරුවා වැන්දා. මම කිව්වා, වඳින්න එපා පුතේ, දේශපාලනඥයින්ට වඳින්න ඕන නැහැ ඕගොල්ලෝ කියලා, අම්මා තාත්තට වඳින්න කියලා, මම අත් දෙකෙන් අල්ලලා අයින් කළා. මම ඔච්චරයි කියපු දේ. 

ඉස්කෝලේ යන දරුවන්ගෙන් මම අහන්නේ, ‘දැන් ඔයාට ලස්සන ගෙයක් තියෙනවා නේ ද? ඉස්කෝලේ යනකොට යාළුවන්ට කියන්න පුළුවන්’. ඔය වගේ ඉතින් අපි ගියා ම ඒ දරුවන්ගේ සතුටට අපි කතාබහ කරනවා.

ඇත්තට ම මානුෂීය ප්‍රශ්නයක් නේ, මැටි ගෙයක ඉඳලා පාසල් යන පුංචි දරුවෙක්, එයා මොන තරම් පීඩාවකට පත් වෙනවා ද, එතකොට ඔය ළමාරක්ෂාව ගැන ලියන අය ඒ දරුවෝ විඳින දුක කවදාවත් ම දැකලා නැහැ.

ඒ පේන දේ වෙන දේශපාලන දෘෂ්ඨිකෝණයකින් බලලා තමයි ගොඩක් අය ලියලා තියෙන්නේ. මට නම් දැනෙන්නේ. ඒ අයට තියෙන මොකක් හෝ ඉරිසියාවක් තමයි වැඩියෙන්.

ළමාරක්ෂක සහ ඒ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න සංවිධාන මේකේ පෙන්වලා දෙන එක නීත්‍යනුකූල පැත්තෙන් මට පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නීතියක් නේ, ඒක ඒගොල්ලෝ පෙන්වන එක. ඒකට මම අභියෝග කරනවා නෙවෙයි, මගේ ඇත්ත හෘදය තියෙන්නේ ඔය කියන ක්‍රියාවලියක් නෙමෙයි දරුවන්ට ඇත්තට ආදරය කරපු එකක් ඔය තියෙන්නේ .

මම මොන ම දරුවෙකුගෙන්වත් එහෙම වැඳුම් ගන්න කෙනෙක් නෙවෙයි. එහෙම ඕනේ නැහැ නේ. මොකට ද දේශපාලනඥයින්ට දරුවෝ වඳින්නේ. ඒක තමයි මම එපා කියන්නේ. ඔය හැම ෆොටෝ දෙක තුනේ ම, ඒ දරුවන්ගේ අතින් අල්ලගෙන මම කියන්නේ වඳින්න එපා කියලා.

ඔය ජාතියේ ෆොටෝ කොච්චර නම් තිබ්බ ද මහින්දලාගේ පැත්තේ. ඔය ලියන මහත්තුරු ලිව්වේ නැහැනේ මහින්දට එහෙම. නාමල්ලාගේ කොච්චර ෆොටෝ තියෙනවා ද ඕවා. අකුරැස්සේ 400ක් දරුවෝ දූෂණය කරපු පොහොට්ටුවේ සභාපතිට ඔය ලියන මහත්තුරුන්ගේ කාලේ මොකක් ද වුණේ… හම්බන්තොට ළමා අපචාර කරපු අයට මොකද වුණේ, ඒ දවස්වල පත්තරයක් අරන් බලන්නකෝ, කොච්චර නම් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අහවල් ළමයා දූෂණය කරලා… ඒ දවස්වල පත්තර ටිකක් අරන් බලන්නකෝ කොච්චර ද කියලා. එදා කටක් ඇරපු නැති ඒ මහත්තුරුන්ගේ කට්ටිය දැන් ඔය ලියන්නේ දරුවෙකුට වඳින්න එපා කියලා අතින් අල්ලලා කියපුවා ම, ඒක ලියනවා නම් ඔය විදියට එදා දූෂණයට ලක් වෙච්ච ඒවා ගැන මොනවා ද ඒ මහත්තුරු ලිව්වේ? ඒ මහත්තුරුගේ කට්ටිය නේ. ඔය ෆේස්බුක්වල ලියන කට්ටිය හොයලා බැලුවොත් ඔය දේශපාලන පක්ෂවල කට්ටිය නේ”