hit counter

2026 සැප්‍තැම්‍බර් මස 18 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:06



මහජනතාව මෙතරම් අමු අමුවේ රවටමින් දැවැන්ත අසත්‍ය ප්‍රකාශ සිදු කරන පුද්ගලයෙකු රටේ නායකත්වයට සුදුසු දැයි තමන් ජනතාවගෙන් ප්‍රශ්න කර සිටින බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී  ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමිල ප්‍රසාද් සිරිවර්ධන මහතා කියා සිටියේ, සුළු අසත්‍යයක් පැවසුවහොත් හෝ එය සාධාරණීකරණය කළ හැකි වුවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වේදිකාවල දිගින් දිගටම පවසන්නේ සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ප්‍රකාශ බවයි. පැය ගණන් කතා කරමින් ජනතාව මුළා කිරීම ලැජ්ජා සහගත තත්ත්වයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

ජලාශ ඉදිකිරීම සහ ජල සම්පත කළමනාකරණය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා සිදු කරන ප්‍රකාශ උපහාසයට ලක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, වසර 2500කට අධික කාලයක සිට මෙරට රජවරුන් මෙන්ම නිදහසින් පසු පත් වූ නායකයින්ද ජල සම්පත වෙනුවෙන් ප්‍රමුඛතාව දී කටයුතු කළ බවත්, මෙය අලුතින් සොයාගත් කරුණක් නොවන බවත්ය.

එමෙන්ම සාමාන්‍ය ජනතාව සති පොළට යන අතරතුර රෝහල් වෙත ගොස් ඖෂධ ලබා ගැනීම උපහාසයට ලක් කරමින් අනුර දිසානායක මහතා දුප්පත් ජනතාවගේ ජීවන රටාව හෑල්ලු කර ඇති බවටද ඔහු චෝදනා කළේය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින සැබෑ වෛද්‍ය පුරප්පාඩු පිළිබඳව හෝ නිසි අවබෝධයක් නොමැතිව “සෑම පවුලකටම වෛද්‍යවරයෙකු ලබා දෙන බවට” ඉටු කළ නොහැකි පොරොන්දු දෙමින් ජනතාවගේ හැඟීම් සමඟ සෙල්ලම් කරන බවද ඔහු පැවසීය.

මීට අමතරව, පසුගිය වසර දෙක තුළ පෝලිම් යුගය අවසන් කර ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් ක්‍රියාමාර්ග අනුර කුමාර දිසානායක මහතා හිතාමතාම අමතක කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවත්, මෙවැනි මුළා කිරීම් හමුවේ නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: