hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 11:40



සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකරන ලෙසත්, උන්වහන්සේට අධිකරණය හමුවේ සිවුරු පිටින් පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසත් මහා විහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

එම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්ථවිරයන් වහන්සේගේ අත්සනින් යුතුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර ඇති විශේෂ ලිපියක් මඟින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

අධිකරණයේ උත්තරීතර භාවය පිළිගනිමින්, අධිකරණය මඟින් ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොදක්වන බව පෙන්වා දෙන සංඝ සභාව, බන්ධනාගාරය තුළදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබේ.

භික්ෂුවකගේ සිවුර පෙරවීම හෝ සිවුර ඉවත් කිරීම පිළිබඳ සම්පූර්ණ අයිතිය පවතින්නේ අදාළ සංඝ සභාව සහ මහානායක හිමිපාණන් වහන්සේ සතුව බව එම ලිපියෙහි අවධාරණය කෙරේ.

එසේම ඥානසාර හිමියන් භික්ෂු විනය පිටකයට අනුව පාරාජිකා වූ භික්ෂුවක් නොවන බැවින්, උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමට තරම් බරපතළ හේතුවක් සංඝ සභාව වෙත වාර්තා වී නොමැති බව ද එහි දැක්වේ.

යම් හෙයකින් එවැනි විනය පරීක්ෂණයක් පැවැත්වීමේ සහ සිවුර තබාගැනීම පිළිබඳ තීරණ ගැනීමේ සම්පූර්ණ බලය ඇත්තේ උන්වහන්සේ අයත් සංඝ සභාවට පමණක් බව ද පෙන්වා දී ඇත.

සාම්ප්‍රදායිකව සහ ඓතිහාසිකව බන්ධනාගාරගත කෙරෙන භික්ෂූන් වහන්සේලාට අධිකරණ හමුවට පැමිණීමේදී සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව සැලසීම මෙරට පිළිගත් සිරිතක් බව පෙන්වා දෙන සංඝ සභාව, එම සම්ප්‍රදාය නොසලකා හැරීම ශාසනයට සිදුවන බරපතළ වැරදි පූර්වාදර්ශයක් බව ද අනතුරු අඟවයි.

එබැවින් ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර, අධිකරණ කටයුතුවලදී සිවුරු පිටින්ම පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර, මෙම ලිපියේ පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ද යොමු කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: