2026 නොවැම්බර් 25, පෙ.ව. 12:17
විදුලිබල ක්ෂේත්රය තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩාකප්පල් කිරීම සහ විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට නිසි පියවර නොගැනීම හේතුවෙන්, නුදුරේදීම විදුලි කප්පාදුවකට සහ විදුලි ගාස්තු ඉහළ දැමීමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි බලශක්ති සහ තිරසාර සංවර්ධන විශේෂඥයකු වන විධුර රලපනාව මහතා පෙන්වා දෙයි.
සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවයි. නොවැම්බර් මාසයේ සාමාන්‍යයෙන් පවතින සිසිල් කාලගුණයත් සමඟ විදුලි ඉල්ලුම පහත වැටිය යුතු වුව ද, නොවැම්බර් මස තුන්වන සතිය වන විටත් රාත්‍රී උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 3041 ඉක්මවා ඇති අතර සමස්ත දෛනික ජනනය ගිගාවොට් පැය 60 (60 GWh) ඉක්මවා ගොස් ඇතැයි ඔහු සඳහන් කරයි.
ගෝලීය කාලගුණ විපර්යාස සහ එල්-නිනෝ තත්ත්වයන් හේතුවෙන් නිවර්තන කලාපයේ උෂ්ණත්වය ඉහළ යාම මත, එළඹෙන උණුසුම් මාසවලදී (විශේෂයෙන් මාර්තු මාසය වන විට) විදුලි ඉල්ලුම දැවැන්ත ලෙස ඉහළ යනු ඇති බවත්, එම උපරිම රාත්‍රී ඉල්ලුම සපුරාලීමට ජාතික පද්ධති ක්‍රියාකරුට කිසිසේත්ම හැකියාවක් නොලැබෙනු ඇති බවත් රලපනාව මහතා අනාවරණය කරයි. දහවල් කාලයේදී වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති මඟින් ජල විදුලි සංචිත ආරක්ෂා කර ගැනීමට විශාල දායකත්වයක් ලැබුණ ද බලධාරීන් එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට මැලිවන බව ද ඔහු චෝදනා කරයි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් යෝජනා කරන ලද සූර්ය බලශක්තිය සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති (Solar + BESS) සඳහා වන ගාස්තු ක්‍රමවේදය (Feed-in-Tariff) විදුලිබල අමාත්‍යාංශය සමඟ එක්ව ජාතික පද්ධති ක්‍රියාකරු විසින් හිතාමතා කඩාකප්පල් කර ඇති බවට ඔහු ප්‍රකාශ කරයි.
ආචාර්ය ප්‍රදීප් පෙරේරා සහ ආචාර්ය අක්බෝ රූපසිංහ යන මහත්වරුන්ගේ රැඩිකල් ක්‍රියාමාර්ග හේතුවෙන් අර්බුදය සමනය කිරීම සඳහා සැලසුම් කර තිබූ සියලු විකල්ප විසඳුම් ඇනහිට ඇති බවත්, අවසානයේ විදුලි කප්පාදුවකට සහ ගාස්තු වැඩිකිරීමකට යොමුවීම හැර වෙනත් විකල්පයක් බලධාරීන්ට ඉතිරි නොවනු ඇති බවත් ඔහු පවසයි.
විෂයභාර අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජනාධිපතිවරයා නොමඟ යවමින් පටු අරමුණු සහිත පිරිසක් ගත් වැරදි තීරණවල ප්‍රතිවිපාක අවසානයේ විඳීමට සිදුවන්නේ මෙරට අසරණ ජනතාවට, ජනන යන්ත්‍ර නඩත්තු කිරීමට වත්කමක් නැති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) සහ කර්මාන්තශාලාවලට බව ද ඔහු අවධාරණය කරයි. මේ හරහා මෙරට ආයෝජන අවස්ථා අහිමිවන අතර, මෙවැනි වැරදි තීරණ ගත් උපදේශකවරුන් රට හැර ගිය පසු ඇතිවන ආර්ථික විනාශය යථා තත්ත්වයට පත්කිරීමට වසර ගණනාවක් ගතවනු ඇතැයි විධුර රලපනාව මහතා වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.
2026 නොවැම්බර් 25, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 25, පෙ.ව. 12:14
2026 නොවැම්බර් 25, පෙ.ව. 12:14
2026 නොවැම්බර් 25, පෙ.ව. 12:13
2026 නොවැම්බර් 25, පෙ.ව. 12:13