hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:46



දුම්රියට අසුවීමෙන් අතේ මැණික් කටුවෙන් පහළ කොටස වෙන් වූ පුද්ගලයෙකු පෙරේදා (07) රාත්‍රී 7.40ට පමණ මහනුවර ජාතික රෝහලට තනිව ම පැමිණ තිබෙනවා.

දුම්රියට අසුවීම නිසා එම පුද්ගලයාගේ අතින් වෙන් වූ කොටස සුදුහුම්පොළ ප්‍රදේශවාසීන් විසින් ඊයේ (08) පෙරවරුවේ දුම්රිය මාර්ගයට යාබදව තිබී සොයාගෙන තිබෙනවා.

එම අත් කොටස මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට භාරදුන් බව පොලිසිය පැවසුවා.

මිනිස් අතක මැණික් කටුවෙන් පහළ කොටසක් එම ස්ථානයට කෙසේ පැමිණියේ ද යන්න මුලින් සිතාගත නොහැකි වූ ප්‍රදේශවාසීන් ඉන් කලබලයට පත්ව තිබෙන බව පොලිසිය සඳහන් කළා.

මෙම අත් කොටස මහනුවර, දංගොල්ල ප්‍රදේශයේ පදිංචි එස්.එන්. එම්. රිස්වාන් (44) නමැති අයගේ බවට හඳුනාගෙන තිබෙන අතර ඔහු මේ වන විට සැත්කමකට ලක්ව මහනුවර ජාතික රෝහලේ 17 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තමන් පෙරේදා රාත්‍රි 7.30ට පමණ දුම්රිය මාර්ගයේ පැමිණෙමින් සිටියදී එහි තිබූ විශාල වළකට ඇද වැටුණු බවත් දකුණු අතින් රේල් පීල්ල අල්ලා ඉන් ගොඩ ඒමට උත්සාහ කරද්දී එක්වරම දුම්රිය අත උඩින් ගමන් කළ බව ත් ඔහු රෝහල් පොලිසියට පවසා තිබෙනවා.

මැණික් කටුව අසලින් අත වෙන් වූ බවත් අඳුර නිසා එම කොටස සොයා ගැනීමට නොහැකි නිසා කෙළින්ම රෝහලට පැමිණි බවත් ඔහු පවසා තිබෙනවා.

මහනුවර ජාතික රෝහල් පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක මහතා තුවාලකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා සිද්ධිය මහනුවර පොලිස් මූලස්ථානයට දැනුම් දී තිබෙනවා.